ස්වයං පියයුරු පරික්ෂාව

ස්වයං පියයුරු පරික්ෂාව

පියයුරු පිළිකාවක් කියන්නේ මොකද්ද , පියයුරු වල වෙනස්කම් ,එවැනි වෙනස්කම් ඇතිවූ විට සිදුකරන පරීක්ෂණ ආදිය ගැන පෙර ලිපි වලින් කතා කරා.

මෙවර ලියාරා තුලින් ගෙන එන්නේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් ගෙන ආ ලිපි පෙළේ අවසන් ලිපියයි.

අද ලිපියෙන් මම සාකච්ඡා කරන්නේ පියයුරු පිළිකා මූලික අවධියේදීම හඳුනාගන්න , එහෙමත් නැත්තම් පියයුරු වල වෙනස්කම් හඳුනාගන්න

සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම කල යුතු ස්වයං පියයුරු පරික්ෂාව සම්බන්ධයෙන් .

පියයුරු පිළිකා ඇති වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය.

එය සෑම මසකට වරක් ම කළ යුතු ය .

මාස ශුද්ධිය සිදුවන කාන්තාවන් මාස ශුද්ධියෙන් සතියකට පමණ පසුව ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය

මාස ශුද්ධිය නතර වූ කාන්තාවන් සෑම මසකම එක් එක් දිනයක් යොදා ගෙන මෙය කළ යුතුය .

පියයුරු වල අසාමාන්‍යතාවයක් හඳුනාගතහොත් ඔබ යා යුත්තේ,

.සුවනාරි සායනයට,

.රජයේ හෝ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් වෙත,

.ඔබ ට ආසන්න රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට

.පිළිකා කලින් කලින් හඳුනා ගැනීමේ සායනය- නො 516- ඇල්විටිගල මාවත, නාරාහේන්පිට යන ස්ථාන වලින් එකකටයි.

ස්වයං පියයුරු පරීක්ෂාව

මේ සඳහා කාමරයක් වැනි ආවරණය කළ ස්ථානයක් යොදා ගන්න.

සම්පූර්ණයෙන් උඩු කය නිරාවරණය කර කැඩපතක් කැඩපතක් ඉදිරියේ සිටගෙන පියයුරු වල අසාමාන්‍යතා ඇත්දැයි නිරීක්ෂණය කරන්න .

(පහත රූපයේ පරිදි)

ඉන්පසුව ,

ඇඳක හෝ ඝන මතුපිටක නිදාගෙන පියයුරු පරීක්ෂාව කළ හැක.

පරික්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් ඝන රෙද්දක් නවා තැබීමෙන් පියයුරු පරීක්ෂාව පහසු වේ.

අතේ ඇඟිලි එක්කොට එක් කොට හොඳින් පරික්ෂා කරමින්  පියයුරේ ගැටිති, සමට යටින් ඝන වීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක් ඇත්දැයි පරික්ෂා කරන්න.

වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ලද, දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ලද  පරීක්ෂා කරන්න.

පියයුරේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිට පැත්තේ සිට ඔරලෝසුවේ කටු යන අතට අත තද කරමින් පියයුරේ ගැටිත්තක් වේදනාවක් හෝ ඝන වීමක් ඇත්දැයි පරික්ෂා කරන්න.

මහපට ඇඟිල්ලෙන් තන පුඩුව වටා ඇති තද පැහැති කොටස මිරිකා තන පුඩුවෙන් කිරි නොවන ස්‍රාවයක් පිටවන්නේ දැයි පරික්ෂා කරන්න.

ස්නානය කරන විටදිත් පියයුරු පරීක්ෂාව කළ හැක.

මෙහි දී තෙත් වූ සම මත අත පහසුවෙන් ලිස්සා යන බැවින් පරීක්ෂාව පහසු වේ. 

මෙම ස්වයං පියයුරු පරික්ෂාවට අමතරව සායනික පියයුරු පරික්ෂවද සිදු කිරීම ඉතාම වැදගත් සේම අත්‍යාවශ්‍ය කාරණයක් .

එය කරගන්නේ කෙසේදැයි බලමු.

වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම වෛද්‍යවරයෙක් , මහජන සෞඛ්‍ය හෙද සොයුරියක් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක් හමුවී මෙය සිදුකර ගැනීම ඉතාම වැදගත් වේ .

වයස අවුරුදු 20 සිට 40 තෙක් වසර තුනකට වරක් ද,

වයස අවුරුදු 40 න් පසුව වසරකට වරක් ද සායනික පියයුරු පරික්ෂාව සිදු කිරීම ඉතාම හොඳයි .

හෙද විදුහල් සමයේ අත්දැකීම් , පියයුරු පිළිකා සම්බන්ධයෙන් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අලුත්ම තොරතුරු සහ up todate 2019 ඇසුරෙන් ඔබ වෙත ගෙන ආ පියයුරු පිළිකා සම්බන්ධ ලිපි පෙළ මෙයින් අවසන් වන අතර තවත් සෞඛ්‍ය තොරතුරු ඇතුලත් ලිපි සමඟින් ඉදිරියේදී හමුවෙමු .

රොනිති සර්ධාතිලක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *