සුදී හා සුනීතා…

සුදී හා සුනීතා…
                 

”ට‍්‍රාස්…..” මහා හඩකින් පිගානක් බිදුණි……
එ් සමගම බිනර පෝයට සිල් ගත් කුමාරිහාමිගේ සීලය ද කැබලිවලට බිදුණි, ”මගේ අම්මගෙන් ලැබුණු පලන්ඟාන ,අය්යෝ සුනීතා බින්දා නේද? ” කුස්සියට දුව ආ කුමාරිහාමි තොර තෝංචියක් නැතිව සුනීතා නෝනා ට බැන වැදුනාය.එත් ඇය සෙමින් විදුරු කටු එකතු කලාය..
විජේසේකර වලව්වේ සුනීතා නෝනා,කුමාරිහාමිගේ එකම ලේලිය විය.ඇය කුමාරිහාමියගේ දෝෂාරෝපණයන්ට හසු වූ නැති දිනයක් නොවිය.
අක්කර ගණනකින් යුතු වලව්වේ පොල් ගස් පොල් කුරුමිණියන් ගැසූ විටද, කුමාරි හාමිගේ කුරුඳු, ගම්මිරිස් වගාවන්ගේ පලදාව අඩු වූ විටද ,එසේ නැත්නම් කුමාරිහාමිගේ නිතර ඇතිවන පපුවේ රුදාවටද පලිකාරිය වුයේ සුනීතා නෝනාය.
මගේ ජිවිත කතාවේ අම්මා සුනීතා නෝනා විය. මාව වලව්වට රැගෙන එන විට මට මාස 2-3ක් පමණ විය. මා රැගෙන ආ දිනයේ කුමාරිහාමි පැවසුවේ ”’අපෝ බැළලියක් නේ,පැටවූ ගහ ගහ ඉදිවී” යන්න පමණි,එත් සුනීතා නෝනා මාව නහවා කවා පොවා දරුවෙකු මෙන් ඇති දැඩි කළාය.මුලදී මා නැහැවීම මා කරදරයක් සේ සිතුවද ඉන් සුනීතා නෝනාගේ සිතේ සතුට උදෙසා මා ඉවසා සිටියෙමි. කුමාරිහාමියගේ අඩන් තේට්ටම් වලට මා ලක් වීම වැලක්විමට පොඩි බේසමක රෙදි තට්ටු දමා මාගේ නිවහන සුනීතා නෝනාගෙ නිදන කාමරයේ මුල්ලකම සැකසුවාය..
කුමාරිහාමිගේ සිත මා කෙරේ උණු වුයේ ඇයගේ අල්මාරි ,පෙට්ටගම් වල සිටින මීයන් මා විසින් විනාශ කර දැමු පසුවය. සුනීතා නෝනා හා කුමාරිහාමි ගේ විරසකයට හේතුව සුනීතා නෝනාට දරුවන් නොමැති විම නිසා බව මගේ බළල් සිතට දැනුනේ ,මා වලව්වට ඇවිත් ටික කලකින්ය. මා කුළුදුලේ වැදු පැටවූ බැළලියන් වූ අතර ඔවුන් වලව්වේ තබා ගැනිම කුමාරිහාමි එක හෙලා ප‍්‍රතික්ශේප කළාය.
සුනීතා නෝනා එදින වත්තේ වැඩකරන සිරිසේතන් විසින් මගේ පැටවුන් ගෙනියන තුරු දුකසේ බලා සිටියද මෙවර ලැබූ තැඹිලි පැහැ පැටවා බලලෙකු වූ නිසා , ඇය සතුටු වුවාය. පැටවා ලැබූ පසු සුනීතා නෝනා විසින් අප දෙදෙනාට හොදින් සත්කාර කලාය. කුමාරිහාමිට හොරෙන් කිරි සදා මාළු වැඩිපුර දමා බත් සාදා දුන්නාය.
”ළමයි නැති නිසා හැමදාම බළලූන් නලවන්න තමයි වෙන්නේ , අනේ මගේ මේ දේපල රැක ගන්න මුනුබුරෙක් නැති වුනානේ ” කුමරිහාමියගේ නෝක්කාඩුව පාන්දරම පටන් ගනී. සන්සුන් ව බත් මාළු පිළයෙල කර වලවුවේ සියළු වැඩ කටයුතු කරන සුනීතා නෝනා එවැනි වදන් වලට නොකිපුනාය.
එනමුත් ඇතැම් දිනවල ඇයගේ කම්මුල් දිගේ කදුළු බිඳු බරින් සැලෙන සැටි මා දැක ඇත.එවන් වෙලාවට නම් කුමාරිහාමියගේ කකුලක් හෝ හපා රිදවා එ්මට මට සිතේ.මිනිස් දරුවෙකු නොමැති වුවත් සුනීතා නෝනා මට දක්වන දරු සෙනෙහස අපමණය. ඇය ආහාර ගැනීමට ප‍්‍රථම මට බත් පිඟාන හා වතුර තබයි. මගේ පැටවාටද කිරි පිරිසියක් තබයි.
මේවා දකින කුමාරිහාමි විසින් නෝනාටත් රවා මටද පාරක් ගසා යාමට අමතක නොකරයි.
”අනේ මගේ සුදී පැටියට රිදුනාද? ” සුනිත නෝනා දුව විත් මාව අතගා සුරතල් කරයි.ඇයට ඇති එකම සැනසීම මා බව මට සිතේ. එ් නිසා මා නිතරම ඇය සමීපයේ ”පුරු පුරු” ගගා රැදෙමි..

”කුමාරිහාමි…. කුමාරිහාමි”,
”ආ මේ විනිතා නෝනනේ හුග කාලෙකින් .අපිව මතක් වෙලා.”කුමාරිහාමි ඉස්තෝප්පුවේ පුටුවකට බර දෙමින් අල්ලාප සල්ලාපයට යොමු උනාය..
ඔව් විමලා , මම හුන්නස්ගිරියේ දුවලගේ ගෙදරනේ හිටියේ,ගමට ඇවිත් ටික දවසක් වෙන්නේ,අපේ ලේලිට දුවෙක් හම්බුනානේ, අපේ ගෙදර කිරි අම්මා දානයක් ලෑස්ති කරනවා ,ලබන බ‍්‍රහස්පතින්දාට, එ් නිසා විමලා නෝනගේ ලේලියට එකට ආරාධනා කරන්නයි ආවේ,”
දැන් අපේ පුතා බැදලා අවුරුදු පහක් වෙනවානේ, තාම ලේලිට ළමයි නෑ,අපේ කරුමේ…
”හත් දෙවියනේ .මම එ් බවක් දැනන් උන්නේ නැහැනේ.”
” හිතුවේ දැන් ළමයි දෙතුන් දෙනෙක් වත් ඇති කියලා.අපේ පුතාටනම් ළමයි තුන් දෙනෙක් ඉන්නවා.”
සුනීතා නෝනා ඉස්තෝප්පුව අද්දර රෝස පාත්තියට සාත්තු කරමින් සිටියාය,මම වැලි පොලවේ වැතිරී ස්ත‍්‍රින් දෙදෙනාගේ සංවාදය අසා සිටියෙමි,
දැන් ඉතින් ආයෙත් ගම්මැද්දේ ගිහින් කිරි අම්මලා හොයන්න එපැයි.”
අඩු තරමේ විමලා නෝනාටවත් බැහැනේ මේ දානෙට සහසම්බන්ධ වෙන්න.” මිලින්ද පුතාත් නංගිගෙන් අරන් හදාගත්තා මිසක් විමලා නෝනටත් ඉතින් තමන්ගේම කියලා දරු මල්ලෙක් නෑනේ. විනිතා නෝනා වක්කඩ කැඩුවා සේ දොඩවන් ගියාය. කුමරිහාමියගේ මුණ රතු වී ඇත.
ඔවුන්ගේ සංවාදය පැහැදිලිව සුනීතා නෝනාටද ඇසිනි,කුමාරිහාමි එය දකින්නට ප‍්‍රථම ඇය කුස්සිය වෙත දිව ගියාය. මාද සියල්ල තේරුම් ගියාක් මෙන් පුරු පුරු නොගා සෙමින් සුනීතා නෝනා පසු පස දිව ගියෙමි.
කුස්සියට දුව විත් සුනීතා නෝනා කිසිත් නොඇසුණු ආකාරයට යුහුසුළුව මාගේ ආහාරය ලබා දුන්නාය.
”සුදී පැටියෝ ..ඉක්මනට බත් කන්න .මගේ හොදම යාලූවා හවසට එනවා.මට හැලප ටිකක් හදන්නත් තියෙනවා.”
අද සවස වේලාසනින් උදා විය.හිරු නැති අද දින අමුතු සීතලක් දැනුනු බැවින් මා සුනීතා නෝනාගේ කකුල් වලම දැවටී සිටියෙමි.
යෙහෙළිය ආවාය. සුනීතා නෝනා බෙහෙවින් සතුටු වුවාය..
හැලප,කේක්,කෙසෙල් වලින් ඇය සංග‍්‍රහයක් පැවැත්වූ අතර කේක් කැබලි කීපයක් මටද ලබා දුන්නාය.කුමාරිහාමිය නම් ගෙදරට පැමිණෙන අමුත්තන්ට කහට කෝප්පයක් දෙන්නෙත් අදි මදි කරලාය. යහගුණ අතින් සුනීතා නෝනා දෙව්දුවකි.
”සුනිතාට හොද පණිවිඩයක් අරන් මන් ආවේ.අපේ ළමා නිවාසෙට මාස 5ක විතර පිරිමි දරුවෙක් ලැබිලා තියෙනවා,ලොකු මැඩම් එක්ක මම කතා කළා දරුවාව හදාගන්න දෙන්න පුලූවන්ද කියලා වලව්වට,මැඩම් ගේ අකමැත්තක් පෙන්න තිබ්බේ නැ, මේ ගැන සුනීතා මහත්තයා එක්ක ඇවිත් අපේ ළමා නිවාසෙට කතා කරගන්න ඉඩ තියෙන දවසක.” යෙහෙළිය පැවසුවාය.
අනේ කොච්චර දෙයක්ද? කාගේ උනත් දරුවෙක්ට පිහිට වෙන්න පුළුවන් වෙන එක ලොකු පිනක්,මම මේ සතියෙම එනවා මහත්තයා එක්ක,එයාගේනම් අකමැත්තක් නෑ මේ ගැන.සුනීතා නෝනා මුවග පිරි සිනහවෙන් පැවසුවාය.
”හරිම ලස්සන හුරතල් දරුවා,එයාට මේ වලවුවට එන්න ලැබුනොත් හැබෑම වාසනාවන්තයෙක්.”’
එහෙනම් පරක්කු වෙනවා.. එහෙනම් මම ගිහින් එන්නම් සුනීතා.”
”ආ මේකත් ගන්න, අපේ වත්තේ හැදුනු පළතුරැ ටිකක්… යෙහෙළිය ස්තුති වන්ත වෙමින් වලව්වෙන් නික්ම ගියාය,
කුමාරිහාමි මේ සියල්ල සොරෙන් අසා සිටියාය… ඇයගේ යහපත් ගති ගුණයක් ඇත්තෙම නැත…සියොලෙඟහිම විසය.
සුනීතා නෝනා ,ඉස්තොප්පුවෙන් පහලට බැස දාස් මල් පාත්ති අත ගෑවාය, පෑල දිග අහස දෙස බලා සිනාසුනාය,ඇයට අලූත් ජවයක් ලැබී ඇත.

පාන්දරම ඇහැරුණු සුනීතා නෝනා කාමරය මැනවින් අස් පස් කළාය. ලා නිල් පැහැයෙන් යුතු ජනෙල් දොර රෙදි දැම්මාය.. අල්මාරිය තුල තිබුණු,වසර පහක් තිස්සේ ඇය විසින් මහන ලද සෙල්ලම් බෝනික්කන් ,බෝල ආදී සෙල්ලම් බඩු ඇද උඩින් තිබ්බාය,ඇය විසින් එකතු කරන ලද ළදරු ඇදුම් රාශියක් විය,ඇය එ්වා සේදීමට බේසමකට එකතු කළාය. නිර්ලෝභී ඇය මගේ පැටවාටද පුළුන් පුරවන ලද සෙල්ලම් මාළුවෙකු දුන්නාය..ඔහු එය සමග පෙරළෙමින් සෙල්ලම් කරන්නට විය.
”සුදී පැටියා….නැගිට්ටද…බඩගිනිද?”
මම …තවත් සුරතල් උනෙමි….
සුනීතා නෝනා අලූත් දරු පැටියා ගෙන එ්මට සියල්ල සුදානම් කරමින් සිටි..තව දුරටත් මේ කාමරයේ මා රැදී සිටීම ,නොකළ යුතු බව මට සිතුනි,පැටවා කටින් ගෙන මියන් පිරි සොල්දරය වෙත මම සෙමින් පිය නැගුවෙමි.. සුනීතා නෝනා,අලූත් දරුවාට හොද මවක් වන බව මට විශ්වාසය.කුමරිහමියද වෙනස් වනවා ඇත.
නොබෝ දිනයකින් පැමිණෙන දරුවා සමග මගේ පැටියා සෙල්ලම් කරනු ඇත.පාලූවෙන් පිරි වලව්ව, සිරි නිවසක් වනු ඇත.. අද මට බෙහෙවින් සතුටු දිනයක් ය.

ක‍්‍රිශා විමලසේන

මාතර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *