ඉකි ගසන ලෝගුව

ඉකි ගසන ලෝගුව

නිල් පාට  පිහාටු පොරව ගත්ත පිළිහුඩුවෙක් ටක් ගාල උසාවියෙ පොකුණ ඇතුලෙන් මාලුවෙක් ඩැහැගෙන ඇසුරු සැනින් ඉගිලිලා ගියා.. බඩගින්නටම නින්ද ගිය අවුරුදු හයහමාරෙ ලොකු දුවයි, අවුරුදු තුනහමාරෙ පොඩි දුවයි එකතු කරගෙන සාරදා මහේස්ත්‍රාත් උසාවි භූමිය ඇතුලට වැදුනා..

දිවා ආහාරයට කාර්යාලයෙන් එලියට ගිය ලිපිකාරිනියෝ අතර ඉදපු නිරෝධා   සාරදාව දැකලා හනි හනිකට එයා ලගට ආවා.. එක සොදුරු අතීතෙක පාර දිගට කහමල් පිපිනු දෙවටක් දිගේ ඈතක පිපුනු රුක්අත්තන සුවඳ විඳ විඳ  දහම්පාසල් ගිය මතකයක් එයාලට තිබුනා.

ගමේ පාසලෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා නගරෙ පාසලකට  ගිය සාරදා අද ජීවිතේ නැවතිලා තියෙන තැනයි  , ගමේ පාසලෙන්ම උසස් පෙල හදාරපු  නිරෝධා නැවතුනු තැනයි  , ගැන සාරදාටම පුදුම හිතුනා.. ගෙදර සහෝදර සහෝදරියෝ ටිකත් එක්කම එකට වැටිල එක ගොඩේ හැදිලා ගමේ පාසලේම හිටියා නම් හැමදේම වෙනස් වෙනවද කියලත් සාරදාට හිතුනා..

ගමේ පාසලෙන් නගරෙ පාසලකට ගිය සාරදාගෙ ඉරණම වෙනස් උනේ එක තීරණාත්මක සාධකයක් නිසා… ඒ තමයි මුහුද ආශ්‍රිත උසස් බාලිකාවක ඉගෙන ගත්ත සාරදාගෙ නේවාසිකාගාරය සුනාමි ව්‍යසනයෙන් තිබුනු තැනක් වත් හොයා ගන්න බැරි වීම..  ඒ නිවාඩු කාලෙන් පස්සෙ සාරධාට පාසලෙන් පිට නේවාසිකගාරයකට යන්න සිද්ධ උනා.. ළමා වියෙන් මිදිලා මල් මල් යොවුන් වියට පා නගමින් හිටපු එයාගෙ ජීවිතේ එක්තරා හැරවුම් ලක්ශයක් උනේ ඒ අලුත් නවාතැන හිමිකාරියගෙ කුලවද්දාගත්  යොවුන් පුත්‍රයා…

උදේ ඉර එලියට එක එක පෙති විදහා පිපෙන කැලෑ සූරිය කාන්ත මලක්  වුන සාරදාට ඒ යොවුන් බෝඩිම් හිමිකරු , නාලක  කාන්දමකට ඇදෙන ලෝහයක් වගේ ආකර්ශනය වුණා.  කාලය ගෙවිල ගිහින් සාමන්‍යපෙල සමත් වෙලා උසස් පෙල පන්තියට එනකොට සාරදයි ඒ අවට බාලක පාසලක ඉගෙන ගත්ත නාලකයි ජනප්‍රිය පාසල් ආදරවන්තයො බවට පරිවර්තනය වෙලා තිබුනා. අධ්‍යාපනයෙන් බොහොම ඉහල හැකියාවන් පෙන්නපු සාරදා උසස් පෙළින් පස්සෙ විද්‍යා පීඨයට තේරෙද්දි  නාලක පොලීසියට ගියා.

කාලය ගෙවිල යද්දි අදහස් වලින් කොච්චර පරස් පර උනත් එක හිතින් නාලකවම පතාගෙන හිටපු සාරදාව නාලක විවාහ කරගත්තෙ එක අතකට එයාගෙ එක්තැන් වෙලා ඉදපු එයාගෙ අම්මව බලාගන්නද කියල මට හිතුනෙ එතනින් සාරදාගෙ අධ්‍යාපනය නවත්වන්න  නාලකට ඇතිවුන බරපතල අවශ්‍යතාවය නිසා.

මාසෙකට වගේ යුතුකමකට සාරදාවයි ඒ අම්මවයි බලන්න එන නාලකගෙ ගමනෙ ප්‍රතිඵලයක් විදියට පුංචි දූ කුමාරියෝ සාරදාගෙ තනියට වැඩියා.. කාලයක් ඇදටම සීමාවෙලා දුක්විදලා දුක් විදලා නාලකගෙ අම්ම මිය යන කොටත් නාලක හිටියේ බොහොම දුර ඈතක.

අම්මයි පුංචි පැන්චියො එක්කයි ඔට්ටු උන සාරදාට ඒ අම්මගෙ වියෝගය එක අතකට සහනයක් කියල සාරදාට හිතුනත් ඇත්තටම සාරදාට ඒ අම්මගෙ නික්ම යාම මහා කාලකණ්නි පාලුවක් වෙලා තිබ්බෙ.

ආයිත්  පුරුදු පරිදි  නාලක රැකියවට නික්මිලා යද්දි ඒ මුහුද අයිනේ පැරණි නිවසේ සාරදාගෙ තනියට හිටියේ පුංචි  දෝනියි ගේට්ටුව ගාව මුරට ඉදපු ටොමී බල්ලයි..කොච්චරවත් කුස්සියේ දර ලිපේ රස්නෙට ගුලිවෙලා නිදාගන්න හාමිනේ පූසියි , කුස්සිය ගාව දෙල්ගහේ ඉදගෙන හැමදාම රෑට හුම් ගගා එයාගෙ පාලුව කියපු අලු බකමූණයි විතරමයි….

මාසෙකට විතරක් ගෙදර ආපු නාලකගෙ ගමන මාස් දෙක තුන පමා වෙද්දි එකදවසක් සාරදාට හිතුනා නාලක හොයාගෙන අගුණකොලපැලැස්සට යන්න . මාස හයක් කුසත් දරාගෙන අවුරුදු එකහමාරෙ දෝනිවත් වඩාගෙන හිමිදිරි පාන්දර බස් එකට නැගපු සාරදා අගුණකොලපැලැස්සට යනකොට හවස පහත් පහුවෙලා. වතුර බෝතලේකින් මූණ දොවාගෙන  දෝනිවත් අරගෙන ත්‍රී රෝද රථයකට නැගුනු සාරදා තමන්වයි දෝනිවයි දැකලා පුදුම වෙන නාලකගෙ මූණ මතක් කර කර නිල නිවාසෙට පාර කිව්ව.

එක පාරටම එයාගෙ ඇස් ගියෙ නිල නිවාසෙ පිටිපස්සෙ වනල තිබුනු කාන්තා ඇඳුම්. එකපාරටම හිත්ගැස්සුනත් අහිතක් නොහිතාම එය  බාගෙට විවර උන දොරෙන් ගේ ඇතුලට ගියා..  මහා අනෝරා වැස්සක් වැටෙනවා වගේ සාරදාගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.  හරියට ගිනි කන්දකින් ලාවා ගලාගෙන යනවා වගේ .. එයාගෙ හදවත පිච්චිලා දැවුනා. තමන්ගෙ අයිතිය ප්‍රකාශ කරලා එලියට දමන්න හැකියාව තියෙද්දිත් එයා දරුවත් වඩාගෙන එළියට බැස්සෙ තමන්ගෙ හදවතම ඒ ගෙදර දොරකඩ තියලා.

සාරදා නිල නිවාසෙට ඇවිත් ගිය බව නාලක දැන ගන්නෙ රාත්‍රි මුර සංචාරයකට පාරට බැහැල බස්නැවතුම්පොල පැත්තෙන් ඇවිදගෙන යනකොට මහ රාත්‍රියෙ බිම වාඩිවෙලා දරුවත් තුරුලු කරන් බස් නැවතුමේ කනුවකට පිට දීලා දෑස් පියාගෙන ඉදපු සාරදාව දැකීමෙන්.

මිනිහෙක් නීතියෙන් ගැලවුනත් හෘදය සාක්ශියෙන් ගැලවෙන්න  බැරි උන නාලකට තමන්ට ආදරේ කරපු තමන්ගේ රුධිරය කුස දරාගෙන ගැහැණියත්,  තමන්ගෙ ලෙයින් ජාතක දියණියත් පත් වෙලා තිබුනු අසරණ කම දරාගන්න බැරි උනා.සාරදා වාඩිවෙලා කනුවට හිස තියාගෙන නිදාගෙන ඉන්න තැනට ගිය නාලකගෙ වරදකාරි හිත ඉකිගහල ඇඩුවා..

“ඇයි  මට යන්න කියල කිව්වෙ නැත්තෙ”

එකපාරටම ගැස්සිලා  වගේ ඇහැරිලා නාලකව අදුරගත්ත සාරදා ඇහුවෙ එච්චරම එච්චරයි..

“මූණට මොකද උනේ”

ප්‍රශ්නෙ  මග ඇරපු  නාලක ඇහුවෙ සුදුම සුදු සාරදාගෙ මුහුණේ තිබුණු රත් පැහැති ඇගිලි පාරවල් දැකලා..

” කමක් නෑ අපි ඔයාලට බාධාවක් වෙන්නෙ නෑ ..උදේ පලවෙනි බස් එකෙම අපි යන්නම්.. “

“මූණට මොකද උනේ”..

ආයිත් සාරදගෙ වචනෙ නොතකා  නාලක ඇහුවා..

“මට ගහල විතරක් නැවතුන එක ඇති.. “

 තමන්ගෙ දරුවට වඩා වසර තුනක් වයසැති තමන්ගෙ දරුවන්ගෙ ලේම ඇති ඒ දරුවගෙ අම්මගෙ මුහුණ මතක්කරමින්

සාරදා කිව්වා.. ආයිත් පුරුදු පරිදි ඇස් වල  කඳුලු පුරෝගෙන අඳුර දිහාම බලගත්ත  සාරදා ඇස් පියා ගත්ත..

අලුපාට අළුයම් අහස ටික ටික සුදු පාට නිලකට හැරෙන කොට  එයාල ගාවම තාප්පෙට හේත්තු වෙලා  අකම්පිතව වේදනාවෙන් ඉදපු නාලකට ‘ යන්නම්’  කියල  හිටගත්ත සාරදාව දැකලා නාලකට පුදුම හිතුනා…

” ඔයා ආයිත්”…

කදුලු පුරෝගෙන නාලක දිහා බලපු සාරදා හෙමින් හිස වනලා බස් එකට නැගල මැද තිබුනු ආසනයක වාඩි උනේ නින්දෙ ඉඳපු දෝනිවත් තුරුලු කරගෙන.හීනෙන් ඇවිදගෙන වගේ එයාල ගාවට ඇවිදගෙන ආපු නාලක වදන් රහිතව ඔවුන් දිහා බලාගෙන් හිටියා.

 ඈතින් ආපු  වාහනේක නලා හඩින් ගැස්සිලා පියවි ලෝකෙට ආපු නාලක ඉක්මනට ආයිත් බසයෙන් බැස්ස. ගිනිකන්දක් පුපුරලා මුලු ආත්මය පුරාම ලාව මිදිල තියෙන කොට තවත් දැනෙන්නෙ කොහොමද. එයාට ඉතිරි එකම සම්පත වුණු  දරු පැටිය තුරුල් කරගෙන්  සාරදා තවත් ආසනය අස්සට ගුලි උනා.

“ආ මේක බීල ඉන්න.. ඔයා රෑ තිස්සෙ බඩ ගින්නෙ නේද”

පොලිතීන් කවරය දාල බීම බටයක් රදවල තිබුනු කිරි කවරය දිහා කෑදරව බලපු සාරදා ඉක්මනට ඒක බොන්න ගත්තෙ අන්තිම වේල කුසට දාගත්තෙ වේල් දෙකකින් එහා නේද කියල මතක් වෙද්දි ඇත්තටම දැනුනු කුසගින්න නිසාමයි.. හිත කොච්චර ගිනි ගත්තත් කුසේ වැඩෙන සිව්මස් කලලය හරිම සතුටින් ඒ ආහාරය භුක්ති වින්දා.සාරදා ඒක බොන හැටි නාලක බලන් හිටියෙ ශරීරය පුරාම  ගලායන රුධිර බින්දු වේදනාවෙන් කකියනකොට. නාලක දීපු ආහාර පාර්සල් ටික අතට ගත්ත සාරදා කවුලුවෙන් එහාට අතදාල වතුර ටිකක් අරන් දියනියගෙ මුහුණෙ ගාලා අවදි කරල ඇයටත් ගෙනා ආහාර ලබාදෙන්න ගත්ත.

“සල්ලි  එපා.. කෑම වලට පින්.. අවුරුද්දක් ඇතුලත අපි ගෙදරින් යන්නම් කියල එයාට කියන්න..”

නාලක ලබාදීපු මුදල්  ප්‍රතික්ශේප කරපු සාරදා නාලකට කිව්ව..

“කොහේ යන්නද.. මොනවට යන්නද”

නාලක ඇහුවෙ සාරදාගෙ ඇස් මග ඇරමින්..

“මට අයිති නැති තැනක මම ඉන්නෙ කොහොමද”

නාලකගෙ දෙනෙත් දිහාම බලාගෙන කියපු සාරදා අන්තිම පාරට එයා දිහා  වේදනාවෙන් බලල හිනා උනා.. 

පිටත් වෙලා යන බස් එක බලගෙන ඉඳපු නාලකට දැනුනෙ තමන්ගෙ ජීවිතෙත් ඒ එක්ක යනවා වගේ..

එකම එක මොහොතක ජීවිතේ මත් වෙලා වැරදුන හැටි ඒනිසාම තමන්ට වඩා වැසිමහල් කෙනෙක් නීත්‍යානුකූල බිරිද කරගත් හැටි.. මේ වෙන තුරු ඒ අසීමිත ඉල්ලීම්, නොසන්සිදුනු සැප සම්පත් හඹා යාමෙන් හෙම්බත් වෙන්න වුණ හැටි. ඒනිසාම ජීවිතේ එක තැන නැවතිලා තියෙන හැටි  එක දිගට මතක රූපරාමු නාලක ඉස්සරහ මැවුනා.

“මට හිතුන ඩියුටි ඉවර වෙලා ක්වාටස් එකට නොඑනකොට, පාරෙ යන වෙසඟනකට කුඩේ අල්ලන්න යන්න ඇති කියලා”

.

එකපාරටම ඊතල වගේ වැදෙන වචන කාගෙද කියල නාලක නොහැරීම අදුරගත්තෙ මහා වේදනාත්මක පසුතැවීමකින්..

“මූන පුරෝල එකක් කාලත් අම්මප ඔය වෙසඟන මට්ටු උනේ නෑනෙ.අනුන්ගෙ මිනිස්සු පුදුම කරන්න ගෙවල් වලට කඩා පාත් වෙන්න..”

එක දිගට තල් අත්තට බොරලු වැටෙනවා වගේ  බෙරිහන් දෙන හඬ අවටටත් ඇහෙද්දි නාලක ලැජ්ජාවෙන් වටපිට බැලුවා..

“මතක තියාගනින්.. ඒගෑනි ගියේ මම එක්ක විතරයි.. ඒ නිසා වෙසඟන උඹ.. අනික  උඹයි අනුන්ගෙ මිනිස්සුන්ව උගුල්වල අහු කරගත්තේ”

බොහොම හිමින් ඇගේ කනට ලං කරල කියපු නාලක දිහා ඇය බැලුවෙ මැඩගත්ත විස්මයෙන්.. ..

එදා ඉදන් ජීවිත ගමන හුගක් වෙනස් උනා.. ඇගේ සොහොයුරන්ගෙ බලපෑම් තර්ජන මැදින් රාජකාරි කරපු නාලකට ඔවුන්ගෙ බලය අයුතු ලෙස භාවිතා කිරීම නිසාම රාජකරියෙ වැඩ තහනමකට ලක් උනා.. ඉපයීමට මගක් නැති කම නිසාම අවසානයෙ නාලකටත් උනේ ඇගේ පවුලේ කූට ව්‍යාපාරවල ඉත්තෙක් වෙන්න..

ඊට හරියටම වසරකට පස්සෙ සාරදා දරුවො දෙන්නත් අරන් මුහුද ගාව ඒ පැරණි ගෙදරින් ගියා.. තට්ට තනියම නිවසෙ ඉදිරි කාමර කුලියට දෙමින් අපහසුවෙන් ජීවිතය ගෙන සිය එයා අවසානයේ එක අපූරු රැකියාවක් හොයගෙන බොහෝම ඈත පලාතක වැඩිහිටි නිවාසෙක සේවිකාවක් වෙන්න ගියා.. දරුවො රැකගෙන  ආරක්ශිතව ජීවත් වෙන්න එයාට ඒ රැකියාව හොදටම සෑහුනා..

නාලකගෙ නීත්‍යානුකූල බිරිදගෙ මැර තර්ජන වලට හොරා එකම එක පාරක් නාලක දූලවයි සාරදාවයි බලන්න ආවා.. සාරදාගෙ එකම ඉල්ලීම උනේ  එකම එක දෙයයි..

“අනේ මාව හොර ගෑණියෙක් කරන්න එපා.. අපේ ආදරේට එච්චර කැත නමක් දෙන්න එපා …ආයි අපිව බලන්න එන්න එපා නාලක..”

 ඒ සාරදාගෙ අවසන් වචන… ඊට අවුරුදු තුනකට පස්සෙ ලොක්කි ස්කෝලෙ යනකොට  චූටි පෙරපාසල් යද්දි  සාරදාට ඇමතුමක් ආවා නිරෝධාගෙන් .. එයා ඉක්මනටම ලැහැස්ති වෙලා දරුවො අරන් ආවා..

පැය භාගයක් කල් තැබීමකින් පස්සෙ උසාවිය ආයි ආරම්භ කරනකොට දූල දෙන්න ඉස්සර කරගෙන සාරදා අධිකරණය ඇතුලට ගියා..

 නීත්‍යානුකූල බිරිඳ නිසාම බරපතල මූල්‍ය වංචාවකට අහුවෙලා ශාරිරික ඇපයක් තබන්න කෙනෙක් නැති නිසාම ආයි බන්ධනාගාර ගත වෙන්න ගිය නාලකට සාරදා ශාරිරික ඇපයක් තිබ්බ..

“ඇයි එහෙමකලේ..”

නාලක ඇහුවෙ එච්චරම එච්චරයි.. සාරදා  සුපුරුදු නිවී පහන් වෙන හිනාව දාලා  මෙහෙම කිව්වා..

“මම කවදාවත් කරන්න තියෙන යුතුකම් මග හරින්නෙ නැහැ ..”

එහෙම කියල එයා දුවල එක්ක ඉස්සර උනා.. නාලකව විත්ති පාර්ශවයට ගෙනාපු  නාලකගෙ හිටපු බිරිඳ ඇස් අයාගෙන බලාගෙන ඉදිද්දි නාලක සාරදා පිටිපස්සෙන් ඇදුනා..

නීතිඥ හසිතනී ජයරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *