ඉතින් ඔබ තනි වී නැහැ- 2 වෙනි කොටස

ඉතින් ඔබ තනි වී නැහැ- 2 වෙනි කොටස

ඉතින්….චිත්තවේග පාලනය ගැන කතා කිරීමේදී චිත්තවේගවල ස්වභාවය හඳුනා ගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී ඔබට ම ඔබේ සිත කියවීමට හැකි විය යුතුයි.එනම් ඔබේ සිතේ ස්වභාවය ඔබට ම හදුනා ගත හැකි විය යුතුයි. ඔබ ස්වයං අර්ථකථනයක යෙදීම වැදගත් වන්නේ ඒ නිසයි.

චිත්තවේගවල ලක්ෂණ හතරක් බෞද්ධ දර්ශනයෙහි මෙසේ සදහන් වෙනවා

1. සිත සමඟ ම ඉපදීම

2. සිත සමඟ ම නිරුන්ධ වීම

3.සිත ගන්නා අරමුණ ම ගැනීම

4.සිත පවත්නා වස්තුවෙහිම පැවැතීම

මෙසේ අප සිතෙහි හටගන්නා චිත්තවේගවලට ස්වාධීන පැවැත්මක් නෑ. ඒවා එකිනෙකට බැදී පවතිනවා. උදාහරණයක් ලෙස සතුට ,දුක හා එකිනෙක බද්ධව පවතිනවා.

මනෝ විද්‍යාවේදී මෙම චිත්තවේග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වෙනවා.

එනම්,

1.ධනාත්මක චිත්තවේග

2.සෘණාත්මක චිත්තවේග යනුවෙනි.

සතුට,ආදරය,කුතුහලය වැනි චිත්තවේග ධනාත්මක චිත්තවේග ලෙසටත් දුක,බිය,තරහව,කලකිරීම වැනි චිත්තවේග සෘණාත්මක චිත්තවේග ලෙසටත් සැලකෙනවා.

දිගින් දිගටම පුද්ගලයෙකු තුල සෘණාත්මක චිත්තවේග පැවැතීම නම් සුභදායක වන්නේ නැහැ.

සෘණාත්මක චිත්තවේග මෙන් ම ධනාත්මක චිත්තවේග ද පාලනය කර ගැනීම ,පුද්ගල පෞරුෂත්ව සංවර්ධනයට මෙන් ම මානසික සෞඛ්ය සංවර්ධනයටත් බෙහෙවින් ම ඉවහල් වෙනවා.

එනම් පුද්ගලයා මෙම චිත්තවේගී තත්ත්වයන් අත් විදිය යුතු වන්නේ හේතුවාදීවයි.

උදා-අහේතුවාදී සතුට මේනියා නම් මානසික රෝගී තත්ත්වය වන අතර අහේතුවාදී දුක විශාදය නම් වේ.එසේ ම අහේතුවාදී බිය හා දුක කාංසාව නම් වේ.

අහේතුවාදී කෝපය මානසික අසමබරතාවය හා යම් යම් මානසික අකර්මණ්‍යතාවයන් පෙන්නුම් කරනවා.

අභිධර්මය තුළ මෙම චිත්තවේග හා ඒවායෙහි ස්වභාවයන් ද ඉතා දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා. මෙත්තා,කරුණා,මුදිතා ,උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ තුලත් කුසල සහ අකුසල සිතුවිලි තුලත් මෙම චිත්තවේගවල ප්‍රාථමික ස්වභාවයන් හදුනා ගත හැකියි.

ධම්ම පදයෙහි චිත්ත වග්ගය තුල දුර ගමන් යන,තනිව හැසිරෙන,ගුහාවක ජීවත් වන සිත පිළිබඳව මෙසේ දැක් වේ.

“දූරං ගමං ඒකචරං

අසරීරං ගුහා සයං

යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති

මොක්ඛන්ති මාර බන්ධනා”

“දුර ගමන් යන,තනිව හැසිරෙන,ශරීරය නැමැති ගුහාවෙහි ජීවත් වන සිත පාලනය කර ගත් තැනැත්තාට මාර බන්ධනයෙන් මිදිය හැකිය”

අපේ සිත ඉතා සියුම්ය.එය දැකිය නොහැකියි.ස්පර්ශ කල නොහැකියි. සිතෙහි හට ගන්නා සිතුවිලි ඉක්මනින් ඇති වී නැති වී යයි.

 මව් කුස තුල හට ගන්නා කලලයට හේතු වන්නේ පෙර භවයෙහි අවසාන චුති සිත හෙවත් මරණ අවස්ථාවේ හට ගන්නා සිතුවිල්ලයි. එසේ හට ගන්නා සිතෙහි පවතින්නේ එම පෙර භවයෙහි අවසාන සිතුවිල්ලමයි.ඒත් කල් යත් ම අප පංච ඉන්ද්‍රියයන් හරහා ගන්නා අරමුණු නිසා කෙලෙස් හෙවත් චිත්තවේග සිතුවිලි ඇති වේ.

ළදරුවාගේ මනස මනෝවිද්යාඥයන් සුදු හිස් පුවරුවකට සමාන කරන්නේ ඒ නිසයි.එහෙත් කල් යත් ම අප අත්දැකීම් තුලින් හට ගන්නා චිත්තවේග නිසා සිත සංකීර්ණ වෙයි.

ඔබ නිවැරදි ව ඔබේ සිත හදුනා ගන්නේ නම්,ඔබේ චිත්තවේග හදුනා කර ගෙන නිවැරැදිව හසුරුවා ගන්නේ නම් ඔබ විසින් ඔබවම ජය ගත්තා වෙයි. ඉතින්..ඔබට ඔබ මුණ ගැසුණු විට ඔබට මා මුණ නොගැසෙනු ඇත.

 මනෝ උපදේශිකා අමාලි අළකොලංග

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *