සොබා දහම සමගින් මුසු වී ආතති දුරු කර ගමු…

සොබා දහම සමගින් මුසු වී ආතති දුරු කර ගමු…

මල් කොච්චරක් නම් ලස්සනද, වළාකුළු කොයිතරම් නම් හැඩද මේ ගහ කොළ ඇළ දොළ මේ පරිසරය කොයිතරම් නම් අපූරුද , මම ගියවර කලාපෙන් කිව්වා දවස පටන් ගන්න කලින් මේ සොභාදහමට , මේ පායන ඉරට ස්තූතිවන්ත වෙලා දවස පටන් ගන්න කියලා, දන්නවද මේ සොබාදහමට  තියනවා අපේ සිත්වල තියන දුක නැති කරන අපූරූ බලයක්. ඒකට ඔබට තියෙන්නේ චුට්ටක් මේ සොබදහමත් එක්ක මුසු වෙන්න විතරයි.

ආකර්ෂණ නීතිය ගැන කතා කර කර ඉඳලා එකපාරටම මොකද මේ සොබාදහම ගැන කතා කරන්නේ කියලා හිතුවද?

අපි ආකර්ෂණය කරගන්න ඕනී සතුට, සැනසීම , ජයග්‍රහණ ,ඉතිං ඒවා අපිට ලඟා කර දෙන්නේ මේ විශ්වය . අපි මේ සොබාදහමට නිර්ලෝභීව සෙනෙහේ දක්වනවානම් ඔබ සතුට , සැනසීම, ජයග්‍රහණ නිතැතින්ම ආකර්ෂණය කර ගන්න කෙනෙක් වෙනවා..

ඇවැසි සියල්ල ආකර්ෂණය කරගන්න අපි යන මේ මාර්ගයේදී,

ඔබ තුළ නිරන්තර සුභවාදී සිතිවිළි ඇතකරගන්න එක අනිවාර්‍යයයි, මොකද ඔබ තුළ පවතින එක පීඩාකාරී සිතුවිල්ලකට,  එක සෘණාත්මක හැඟුමකට පුළුවන් අපි යන පාර සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. පුද්ගලයෙක්ට ධනාමත්මක සිතිවිල්ලක් නිරන්තරයෙන් සිහිපත් කරන්න පුරුදු වෙනවට වඩා හරිම ලේසියෙන් සෘණාත්මක සිතිවිළි  සිහිපත් වෙන එක පුරුදු වෙනවා.

ඒ නිසාම අපි අපේ හදවත හැකි සෑම මොහොතකම සැහැල්ලුවෙන් සතුටෙන් තබා ගත යුතුයි,

ආතති මුදාහැරීම් , ඉහිල් වීම් යන ඒවා මේ ආකර්ෂණ නීතිය එක්ක ගහට පොත්ත වගේ බැඳිල තියනවා. මේ ආතති මුදාහැරීම් , ඉහිල් වීම් සඳහා හොඳම කමටහන තමයි මේ සොභාදහම.

උදාහරණයක් විදියට ඔබ හිතන්න ඔබ කලින් කලාප වලින් කියාදුන්නා වගේ දැන් තමන්ට අවශ්‍ය හීනයක් ගොඩ නගාගෙන එය ආකර්ෂණය කරගැනීම උදෙසා යන මාවතක ගමන් කරන කෙනෙක් කියලා. මේ අතරතුර ඔබට රැකියා ස්ථානයේදී , මග තොටේදී , ගෙදරදී යම් කිසි මානසික ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වනවා යැයි කියා.

එහෙම ප්‍රශ්නයක මුහුණ දීමට සිදු වූ විට ඔබ ඒ ගැන කල්පනා කීරීම,  දුක් වීම සාමාන්‍ය දෙයක් , නමුත් ඔබ දන්නවද ඔබ එළෙස පීඩනයක් හිතේ දරාගෙන ඉද්දී ඔබ නොදැනුවත්වම කරදර ආකර්ෂණය කර ගන්න බව.

ඉතිං ඒ වගේ තත්වයකදී සොබාදහම උපයෝගී කරගෙන ආතති මුදා හැරීම් හා ඉහිල් වීම බොහෝම වැදගත්.

මේ වගේ වෙලාවකට ඔබ පොඩ්ඩක් එළියට බැහැලා ගහ කොල මල් දිහා එහෙම නැත්තම් වතුර පාරක්, දිය ඇල්ලක්  , මුහුදක් වගේ දෙයක් දිහා බලාගෙන, මගේ දුක සම්පූර්ණයෙන්ම පිටකරනවා ,මගේ තරහව සම්පූර්ණයෙන්ම පිට කරනවා කියලා ටික වෙලාවක් හිතන්න. මේ අතරතුර ඔබේ අත පය ඔබට පහසු ඉරියව්වකින් තබාගන්න.

මේ විදියට හිතන ගමන් අවට තිබෙන ලස්සන පරිසරය රස විඳින්න අමතක කරන්න එපා.

මෙහෙම හිතලා අවසානයේ ඔබ අත පය ගසා දලා හොඳ ගැඹුරු හුස්මක් කිහිප සැරයක් ගෙන මම දැන් තරහවෙන් , දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කියලා සිතන්න . සාමාන්‍ය ආකාරයට නෙවෙයි ඔබේ සිතටම ඒත්තු ගැන්වෙන ආකාරයට.

බලන්න දැන් ඔබේ සිතට දැනෙන සැහැල්ලුව.

එහෙම පරිසරයත් එක්ක සැබෑවටම මුසු වෙන්න බැරි කෙනෙක්ට පුළුවන් , තමන් ඉන්න තැන ඉඳන්ම ඉහිල් වෙන්න.

හොඳින් හුස්මක් අරගෙන අත පය පහසු ඉරියව්වකින් තබාගෙන සිතින් හිතන්න, මගේ කේන්තිය, දුක සම්පූර්ණයෙන්ම පිට කරනවා කියලා. මේක කීප වතාවක්ම හොඳින් ගැඹුරෙන් හිතන්න . ඊට පස්සේ දෑස් වසාගෙන අත පය නැවත ඉහිල් කරගෙන ගැඹුරින් හුස්ම ගන්න ගමන් සිතන්න මම දැන් තරහෙන් ,දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කියන එක.  අවසානයේ හැකියාවක් තිබේ  නම් ප්‍රීති ජනක ගීතයක් අහන්න.

ඉතිං මං හැමදාම කියනවා වගේ ආකර්ෂණ නීතිය කියන්නේ මහා බැරෑරුම් තේරුම් ගන්න අපහසු දෙයක් නෙවෙයි. නමුත් මේක වටා බැඳිච්ච පොඩි පොඩි සුන්දර දේවල් ගොඩාක් තියනවා. ඒවා හරියටම ඉගන ගත්තොත් ඒ ඉගෙන ගන්න ඒවා හරියටම පිළිපැද්දොත් ඔබේ සිහින අත්පත් කරගැනීම කාටවත් වළක්වන්න බෑ..

ඉතිං මතක තියාගන්න අවැසි දේවල් ලංකරගැනීමේදී අනවශ්‍ය දේවල් ඉවත් කිරීම අත්‍යවශ්‍යයි .

ලබන කලාපෙන් මේ වගේම වැදගත් කරුණක් සමග එකතු වෙමු.

එතකන් ආතති මුදා හැර, ඉහිළ් වී නොනවත්වාම හැබෑ වන තුරු සිහින දකින්න.

හැකිනම් ඔබ වෙනුවෙන් මේ මහ පොළවට එක ගසක් දායාද කරන්න එයට දිනපතා වතුර පොහොර දමා වැඩෙන තුරු හොඳින් රැක බලාගන්න. ඉහිල් වීමට එයම ප්‍රමාණවත් වේවී ඔබට.

අක්ෂිලා වීරසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *