අවුරුදු කිරිබතට හත් මාළුව

අවුරුදු කිරිබතට හත් මාළුව

අවුරුදු කිරිබත කන්න විවිධ පලාත්වල විවිධ විශේෂ දේ හදනවා. මුහුදු බඩ අය විවිධ විදියට හදපු මුහුදු මාළු, මධ්‍යම පළාතේ සීනි සම්බල්, ඔය විදියට එක එක පළාතට ආවේනික දේවල්.

සබරගමු පළාතේ අපිට කිරිබත් කන්න හත්මාළුව නැත්නම් ඒ අලුත් අවුරුද්දෙන් වැඩක් නෑ.

සබරගමුවේ අය කුඹුරු හා ගෙවතු වගාව සිරිතක් ලෙස කළා. අලුත් අවුරුද්ද කියන්නේ අලුත් අස්වැන්න ගෙට ගන්න කාලය. ඉතින් අලුත් හාලෙන් කිරිබතුත් ගෙවත්තෙන් ලබාගන්න දේවලින් හදන හත්මාළුවත් සබරගමුවෙ ගෙවල්වල වරදින්නේ නෑ.

හැම ගෙවත්තකම පාහේ කජු ගසක් නොවැරදීම තිබුණා. ඉදුණු කජු පුහුලන් වවුලන් හප කරලා බිම දානකොට වැටෙන කජු ඇට එකතු කරලා දුමට විසි කරන එක තමයි කරන්නේ. වම්බටු ගස් දෙක තුනක් අළු කෙසෙල් පඳුරක්, කිරිඅල ගහක් හෝ බතල වැලක්, වට්ටක්කා වැලක් හෝ තම්පලා ගහක්, මෑ වැලක්  ගෙවත්තෙන් හොයා ගන්න අමාරු නෑ. කොස් ගහක් නම් ගැන නම් ඉතින් කියන්නවත් ඕන නෑ. ඉදිලා වැටෙන වැල වරකා ගෙඩිවල ඇට කොස් ඇට මුල්ලේ තැන්පත් වෙනවා. මොනවා හරි දෙයක් හිඟ නම් අසල්වාසියෙකුගෙන් ඉල්ලගන්න එක මදිකමක් වෙන්නේ නෑ.

ඉතින් ඕවා තමයි හත්මාලුවේ ඉන්ග්‍රෙඩියන්ට්ස්.

  1. කජු මද කිහිපයක් ,
  2. කොස්ඇට කිහිපයක්
  3. අළු කෙසෙල් ගෙඩියක් හෝ දෙකක්
  4. කිරිඅලයක් හෝ දෙකක්
  5. මෑ කරල් කිහිපයක්
  6. වට්ටක්කා දල්ලක් හෝ තම්පලා කරටියක්
  7. වම්බටු ගෙඩි කිහිපයක්

මේක උයන විදියේ ඉතින් අලුත් රටාවක් නෑ.

කහ තුනපහ මිරිස් ගම්මිරිස් ලුණු අතගාලා ඇඹුලට ගොරකා මදයක් දාලා, කරපිංචා රම්පෙ අමුමිරිස් රතුලූනු, උළුහාල් දාලා දිය කිරෙන් තැම්බෙන්න අරින්න. කිරි හිඳී ගෙන එනකොට අබ සුදුලූනු අඹරලා මිටිකිරිවල දිය කරලා දාලා උතුරන්න ඇරලා ලිපෙන් බා ගන්න. කැමති අයට තෙම්පරාදු කරගන්නත් පුළුවන්.

කිරිබතට හත්මාළුව අනා ගත්තාම බඩ පැලෙන්න කන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් නිදියනවා ඇරෙන්න වෙන යමක් කරන්න බැරි වෙන එක තමයි ප්‍රශ්නේ.

මේ ගැන විස්තර හොයලා බලද්දී වෙන පළාත්වලත් හත්මාළුව උයන බව දැනගන්න ලැබුණා. වඩා විද්‍යාත්මක තොරතුරක් ද හමුවුණා. හත්මාළුව සඳහා යෝදාගන්න වර්ග හතට පහත සඳහන් දේවල් ඇතුළත් වෙන්න ඕන ලු.

  1. අල වර්ගයක්
  2. ගෙඩි වර්ගයක්
  3. කරල් වර්ගයක්
  4. කොළ වර්ගයක්
  5. ඇට වර්ගයක්
  6. මද වර්ගයක්
  7. මල් වර්ගයක්

මම ඉහත දක්වපු ලැයිස්තුවට මල් වර්ගයක් නම් ඇතුළත් නෑ. ඒ ඉතින් මගේ අම්මා මට කියා දුන්නු විදිය.

  • මානෙල් විජිතා ප්‍රනාන්දු
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *