ඔබත් එඬරු දණ්ඩක්ද?

ඔබත් එඬරු දණ්ඩක්ද?

කාන්තාවක් හරියට එඬරු දණ්ඩක් වගේ වෙන්න ඕනේ.

“මොකාක්?? එඬරු දන්ඩක්???

“මොකක්ද අප්පා.ඊට වඩා කොච්චර ලස්සන උපමා තියෙනව ද ?

රෝසමල්,ඉර හඳ තරු වගේ එකක් ගත්තනම් ලස්සනයිනෙ. එඬරු දණ්ඩක් කියද්දි ටිකක් හරි මදි වගේනෙ”

කියලා ඔබටත් හිතෙනවද?එහෙනම් ඔබ මේක කියවන්නම ඕනෙ එකක්.

අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජයන්ගේ ලස්සන චිත්‍රපටියක් තියෙනවා “අහස්ගව්ව” කියලා.බ්ලැක් ඇන්ඩ් වයිට් එකක්.ඕකෙ ඉන්නවා “චන්දරේ” කියලා චරිතයක්.ඔය චරිතයට පණ පොවන විජය කුමාරතුංග මහත්මයා එක තැනකදි කියනවා මෙන්න ම⁣හෙම හරි ලස්සන දෙබසක්.ඒක කොච්චර ඇහුවත් කවදාවත් එපා නොවන ආයෙ ආයෙ අපිට හිතන්න දෙයක් ඉතුරු කරන ලස්සන කතාවක්.

“අපි හරියට අහකට විසිකරලා දාපු එඬරු දඬු වගේ.අපිට මුල් නෑ.ඒත්…දළු එනවා”

ඒක අහපු වෙලාවෙ ඉඳලා ඒ වචන ටික තාමත් රුව් පිලිරැව් දෙනවා වගේ.ඇත්තටම අපිත් එහෙම වුනොත් නරකද කියලා මොහොතකට හිත නතර වෙනවා.

මේ ලෝකෙ කොච්චර ගස්වර්ග නම් තියෙනවද? කොහෙ බැලුවත් ගහක් නම් පේන්න තියෙනවමයි.ඒත් එහෙම ගහක අතතක් කපලා විසිකරලා දැම්මොත් කීයෙන් කීයද වතුර,පස්,පොහොර නැතුව ආයෙමත්දළු දාන්නෙ.ඒවා ඔහේ පණ ඇද ඇද මැරිලා යනවා මිසක්….ඒ හැම අත්තක්ම කලින් කොහොම ලස්සනට හැඩට හිටියත් ඕන කෙනෙක්ට ලේසියෙන් අහකට විසිකරලා විනාශකරලා දාන්න ලේසියෙන්ම පුළුවන්.

හැබැයි…එඬරු දඬු එහෙම ලේසියෙන් නැති කරලා දාන්න කාටවත් බැහැ.කොච්චර අහකට විසිකරත් එක පස්පිඬක් ,එක මනුස්ස බැල්මක් නැතුව, මුලෙන්ම ගැලවිලා ගියත් ආයෙ අනිත් පැත්තෙන් දළු දානවා.මහා පුදුම විදිහට.

එතකොට මිනිස්සු? කොයිතරම් නම් මේ ලෝකෙ ඉන්නවද? බලන බලන තැන ඉන්නවා හරියට ගහකොළ වගේම.ඒත්…ඒකෙන් කීයෙන් කී දෙනාද එඬරු දඬු ටයිප් එකේ අය ඉන්නෙ…

දැන් මම ආයෙමත් අහනවා.

ඔබ කැමති එඬරු දණ්ඩක් වෙනවටද?

නැත්තම් රෝස දණ්ඩක් වෙනවටද?

එඬරු දණ්ඩක වටිනාකම වැඩිවුනේ කවදාහරි කවුරුහරි  මුලින්ම  අහකට ගලවලා  දාපු නිසයි.ඒකෙන් අපි දැනගත්තා එඬරු දණ්ඩ,අසාමාන්‍ය,එසේ මෙසේ එකක් නොවන බව.ඔබත් අන්න එහෙම වෙන්න.ජීවිතේ හොඳටම වැටුණ තැන ඔබේ පවර් එක පෙන්නන පුළුවන් හොඳම තැන කරගන්න.

ජීවිතේ කවුරුහරි,කවදාහරි ඔබව අහකටම විසිකරලා දැම්මොත් හෝ අහකටම විසිවුනොත්.

ඒකත් එඬරු දණ්ඩ මුලින්ම ගලවලා දැම්මා වගේ ඔබවත් බින්දුවටම වට්ටලා දාලා??

ඔබත් සාමාන්‍ය ගහක දණ්ඩක් නම් ජීවිතේ යැද යැද,පණ ඇද ඇද ඔහේ මැරිලා යාවී.කවුරුහරි ජීවිතය දෙනකල් බලන් ඉඳීවි.හැබැයි එඬරු දණ්ඩක් වුනොත් බොහොම ටික දවසකින් ආයෙමත් ලස්සනට දළු දාවී. බින්දුවටම වැටුණ තැනේ ඉඳලා ආයෙමත් අළුතෙන්ම …කාගෙවත් උදව්වක් නැතුව…කාගෙවත් පිහිටක් නැතුව…කාවවත් බලාපොරොත්තු නොවී…හරියට එඬරු දණ්ඩකට දළුදාන්න පස් ඕනෙ නැති වුණා වගේ…වතුර ඕනෙ නැතිවුණා වගේ…

ඉතින් දහසක් රෝස දඬු අතර ඔබ එරඬු දණ්ඩක් වෙන්න.යන එනමන් නැතුව,වැලේ වැල් නැතුව ජීවිතේ අඩියටම වැටුණත් කාගෙවත් උදව්වක්,අනුකම්පාවක් නැතුව මුල ඉඳලම අයෙමත් නැගිටින්න.කිසිමදාක වැටුණු පළියට ජිවිතය අතහරින්න එපා…කවරු කවදා කොතනින් කොහොම වැටුණත්,වැට්ටුවත්…එතන ඔබේ පවර් එක පෙන්නන්න පුළුවන් හොඳම තැන බව මතක තබාගන්න.ඔබ නොවැටෙන,නොසැලෙන  කෙනෙක් බව ලෝකෙටම පෙන්වන්න.

ඉතින් දැන්  අකමැත්තක් නෑ නේද?? එඬරු දණ්ඩක් වෙනවට??

                                කාංචනා සුබසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *