ටිපී මහතා හා කොරෝනා වෛරසය

ටිපී මහතා හා කොරෝනා වෛරසය


චීනයේ වූහාන් නගරයෙන් කොරෝනා වෛරසය ආසාදිත ප්‍රථම රෝගියාගේ ආරංචියේ පටන් ටිපී මහතා සිටියේ ඒ පිළිබඳව මහත් වූ කුතුහලයකින් ඒ ගැන සොයමිනි. තම පාසලේ චීන ජාතික දරුවන් තිදෙනෙක් සමඟ ඉගෙන ගත්තද ඔවුන් එදා මෙදා තුර චීනය කොයි වගේද කියා දැක බලාගෙන ඇත්තේ දෙවතාවක් හෙයින් ඔවුන් ගැන කිසිම ප්‍රශ්නයක් ටිපී මහතාට නොතිබුන බව මවට පෙනෙන්නට තිබූ කරුණකි. චීන ජාතිකයන් ගැන විස්සෝප වෙමින් ඔවුන්ට සුවය පතා චීන ලන්තෑරුම් හදමින් කාලය ගෙවූ ටිපී මහතා එක් වරම නොසන්සුන් තත්වයකට පත් වූයේ එතුමාට වෛරස් උණ වැළඳීමෙනි.

තමන්ට කොහෙන් හෝ කොරෝනා වෛරසය වැලඳී ඇති වගත් , උණ නොබහින්නේ එනිසා බවත් තම මවට හා පියාට ලඟ පාතට නොඑන ලෙසත් කියමින් සමයං පානා මේ කුඩා දරු පැටවාව සන්සුන් කිරීමට අවසානයේ එතුමාගේ මව ෆාමසියකින් ගෙනා කුඩා මාස්ක් එකකින් මුහුණ ආවරණය කල ද , එය ප්‍රමාණවත් නොවන බවත් තමන්ට රෝහලට යන්නට අවශ්‍යම බවත් කියමින් ටිපී මහතා අඬා වැටෙන්නට වූයෙන් නිවස එකම විකාරයක් සේ පෙනෙන්නට විය.

ඉනුත් නොනැවතී තමන් මහත් සේ ආදරය කල බඩු මුට්ටු අත පත ගාමින් තමන් මිය ගියහොත් ඒවා කිසිදිනක සෙල්ලම්බඩුවක් නොදුටු දරුවන්ට බෙදා දෙන ලෙසත් තමන්ව මතකේ තබා ගන්නා ලෙසත් තමන් සුර දූතයෙක් වී තම මව බලා ගන්නා බවත් උණ විකාරෙන් මෙන් කියවන්නට වූයෙන් ඒවා අසා විඳ දරාගන්නට නොහැකි මව අඬා වැටෙන්නට වූ අතර තත්වය පාලනය කිරීමට යළිත් ටිපී මහතාගේ වෛද්‍ය තුමිය ඇමතූ ටිපී මහතාගේ පියාට එතුමිය කීවේ වහාම තමන්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයට දරුවා රැගෙන එන ලෙසටය. ඒ අනුව ටිපී මහතාව ලක ලෑස්ති කරගෙන එලියට බහින්නට සූදානම් වූ මව ඊලඟට මුහුණ පෑවේ ඊට වඩා අකරතැබ්බයකටය.

කුඩා මුහුණු ආවරණයකින් සැරසි ටිපී මහතා සිය අසල්වැසියන්ගෙන් සමු ගන්නට ඒ ඒ නිවෙස් වල බෙල් එක හඬවමින් එකී නිවැසියන් හා තමන් මුහුණ පා ඇති තත්වය කියා පානා ආකාරය මවට සිහි ගැන්වූයේ අරඹෙගෙදර ඈන් ය. අසල්වාසීන් ද ටිපී මහතා අස්වසාලමින් මේ වැළඳී ඇත්තේ වෛරස් උණක් මිස කොරෝනාවක් නොවනා බව කියන්නට වුවද තම මතයේම එල්බගනිමින් තමන්ට ලොකු වී තම මව හා පියා බලාගන්නට නොහැකි වන බැවින් ඒ කර්තව්‍යය අසල්වැසි නිකොලෝ මහතාට ( ටිපී හා සමාන දරුවෙකි ) බාර දුන් ටිපී මහතා මවගේ අත අල්ලාගනිමින් මහල් නිවාස සංකීර්ණයෙන් එලියට බැස තම පියාගේ වාහනයෙන් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පිටත් විය.

වෛද්‍ය තුමිය බොහෝ සන්සුන්ව ටිපී මහතාට කරුණු කාරණා කියා දෙන්නට වුවද පලක් නොවනා තැන හරි අපි එහෙනම් ඔයාගෙ බ්ල්ඩ් එකක් බලමුකො කීවද ටිපී මහතාට ළමා රෝහලට යන්නට අවශ්‍යම වූයෙන් එතුමා උපන් දා ඉඳන් එතුමාගේ හැම සමයමක්ම දන්නා ටිපී වෛද්‍ය තුමිය ඇසක් ඉඟිමරා ටිපී මහතාගේ පියාට කීවෙ එහෙනම් රෝහලට රැගෙනයන ලෙසය. ටිපී මහතාගේ කොරෝනා සැකය ඔලුවෙන් අයින් කරන්නට වෙන මාර්ගයක් නොවුන තැන ටිපී මාපිය යුවල යලිත් තම දරුපැටවාව වාහනයේ නංවාගෙන රෝහල වෙත ගිය අතර ඒ යනවිටත් එහි වෛරස් උණ නිසා පීඩා විඳිනා ළමයින් රැසක් පෙනෙන්නට විය.

තම වාරය ආ කල රෝහලේ වෛද්‍ය තුමා බැහැදැකි ටිපී මහතා තමන්ට වී ඇති ව්‍යසනය හඬාවැටෙමින් කියමින් සමයං පාන්නට වූ අතර ටිපී මහතාගේ පියා කතාව සැකෙවින් කියා වෛද්‍ය තුමියට දුරකතන ඇමතුමක් දුන් අතර , රෝහල් වෛද්‍ය තුමා එතුමිය හා කතා බහ කොට , ටිපී මහතාගේ ලේ සාම්පලයක් එවෙලේම
පරීක්ශා කොට මේ වැලඳී ඇත්තේ වෛරස් උණක් පමණක් බවත් කොහොත්ම කොරෝනා ආසාදනයක් නැති බවත් බයවෙන්නට කිසිම කාරණාවක් නැති බවත් කියා දීමෙන් පසුව ටිපී මහතා කරුණු කාරණා වටහාගෙන සන්සුන් වූ අතර , ටිපී පවුල මේ සියලු සමයං අවසන් කොට යළි නිවසට එන විය පාන්දර විය.

නිවසට පැමිණි ටිපී මහතා පහුවදා උදෑසන කල පළමු කාර්‍ය වූයේ නිකොලෝ මහතා අමතා , තමන් දැම්ම මැරෙන්නේ නැති වගත් , එනිසා නිකොලෝට තම දෙමාපියන් ගැන වද වන්නට දෙයක් නැති වගත් කීමය. මේ සියළු නාඩගම් අවසානයේ තම මව හා පියා වැළඳගත් ටිපී මහතා ,

මට දුක තිබ්බෙම අම්මා ගැන , එයා මම නිසා ගොඩක් මහන්සි වෙනවනෙ, ඉතින් මම හිතන් හිටියෙ මම ලොකු වුනාම එයාට පොඩ්ඩක් වත් මහන්සි වෙන්න නොදී බලාගන්න , කියා කී අතර ඒ වදන් හමුවේ තම කඳුළු සඟවාගත් ටිපී මහතාගේ මව සිය එකම දරු පැටවාව සිඹින්නට විය.

ප්‍රභානී තෙන්නකෝන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *