නව යුග දිවියේ බිළිඳු සිහිනයට ලියාරා අත්වැල – 04 කොටස

නව යුග දිවියේ බිළිඳු සිහිනයට ලියාරා අත්වැල – 04 කොටස

දරු සුරතල් බැලීමට සිහින දකින ඔබ, ඊට පෙර සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳව අපි පසුගිය ලිපි පෙලෙන් සාකච්ඡා කළෙමු. මෙතැන් සිට මා ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ සුභාරංචිය දැනගත් පසුව ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්නයි.

පළමුවෙන්ම ඔබ මෙතෙක් කල් ලබා ගත් ෆෝලික් අම්ලය සති 12 වන තෙක් අනිවාර්යයෙන්ම නොකඩවා ලබා ගත යුතුය. යම් හෙයකින් මෙය ඔබ බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීමක් නම්, එසේත් නොමැතිනම් නොදැනුවත්කම නිසා හෝ අතපසු වීම නිසා ඔබට ෆෝලික් අම්ලය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, බිය නොවන්න, මෙතැන් පටන් නොකඩවා ලබා ගන්න. එය අනිවාර්යයෙන්ම ඔබේ දරුවා ආරක්ෂා කරනු ඇත.

ගර්භණී සමය සති 40 කි. එය ගණනය කිරීම ආරම්භ කරනුයේ ඔබට අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දින සිටය. ඔබට බබා ලැබීමට නියමිත දිනය වන්නේ එතැන් පටන් සති හතළිහක් හෙවත් ඉතා ආසන්න වශයෙන් මාස නමයයි දින හතකිනි .

ගර්භයට සති හතර – අට කාලය තුළ ඔබට උදරයේ යම් වේදනාවක් හෝ රුධිර වහනය වීමක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වී ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත යුතු වේ. මන්ද එය කළලය ගර්භාෂයෙන් පිටත පිහිටීමේ රෝග ලක්ෂණයක් විය හැකි බැවිනි. Ectopic pregnancy ලෙස හඳුන්වන මෙය ඉතාමත් අවදානම් තත්ත්වයක් වන අතර කළලය උදරය තුළදී පුපුරා ගියහොත් ජීවිතයට පවා අවදානමක් ඇති විය හැකිය. එබැවින් ඔබ මෙම රෝග ලක්ෂණ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වන අතර රෝග ලක්ෂණ නොමැති විටදී වුවද හැකියාවක් පවතී නම් සති 5 ත් 7 ත් අතර කාලයේදී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර කළලය ගර්භාෂය තුළ පිහිටා ඇති බව තහවුරු කර ගැනීම වඩාත් ආරක්ෂාකාරී වේ. මින් පෙරදීද ඔබට මෙවන් තත්ත්වයක් ඇතිවී ඇත්නම් අවදානම තවත් වැඩිවේ.

පළමු මාස තුන තුලදී ඇති වන රුධිර වහනය සහ උදරයේ වේදනාව ඇතැම්විට ගබ්සා වීමේ පෙරනිමිති විය හැකිය. එම නිසා වහාම සුදුසු වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

සති දොළහේදී (සති දහයත්, දා හතරත් අතර) අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත යුතුය. මෙය dating scan ලෙස හඳුන්වයි. එහිදී ඔබගේ දින නිවැරදිද යන්න තීරණය කරනු ලැබේ. ඔබ ක්‍රමවත් ඔසප් චක්‍රයක් නොමැති අයෙකු නම් මෙය ඉතාමත් වැදගත් වේ. රෝග ලක්ෂණ මතු වීමට පෙර අජීවී කළලයක් හඳුනා ගැනීමටද, සංකූලතා ඇති වීමට පෙර නිවුන් දරුවන් හඳුනා ගැනීමටද මේ නිසා හැකියාව ලැබේ. එමෙන්ම nuchal fold thickness මැනීම මගින් කළලයේ විකෘතිතා තිබේදැයි සොයා බැලීමටද හැකිය.

ඔබ ගර්භනී බව දැන ගත් පසු පළමු සති 12 තුළදී පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ලියාපදිංචි වීමද ඉතා වැදගත් වේ. එහිදී ඔබගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම, රුධිර ඝණය, මුත්‍රා පරීක්ෂාව, HIV සහ VDRL (Venaral Disease Research Laboratory Test for Syphilis) පරීක්ෂණ සිදු කරනු ලැබේ.

තවද රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම ද ඉතා වැදගත් වේ. ඒ සඳහා සුදුසුම පරීක්ෂණය වන්නේ OGTT (Oral Glucose Tolerance Test ) පරීක්ෂණයයි. මෙය සිදු කිරීම සඳහා පැය අටක් නිරාහාරව සිටීමෙන් පසු ජල වීදුරුවක දියකරගත් ග්ලූකෝස් ග්‍රෑම් 75 ක් පානය කළ යුතුය. එය පානය කිරීමට පෙර, පානය කර පැයකට සහ පැය 2කට පසු රුධිර සාම්පල පරීක්ෂා කරනු ලැබේ. ඔබට වමනය සහ අප්පිරියාව නිසා මෙම පරීක්ෂණය සිදු කිරීමට අපහසු නම් GCT (Glucose Challenge Test) පරීක්ෂණය සිදුකිරීම වුවද සෑහේ. මෙහිදී නිරාහාරව සිටීම අවශ්‍ය නැත. ග්ලූකෝස් ග්‍රෑම් 50 ක් පානය කිරීමෙන් අනතුරුව පැයකට පසුව රුධිර සාම්පලයක් පරීක්ෂා කරනු ලැබේ. එයත් අපහසු නම් අවම වශයෙන් PPBS (Post Prandial Blood Sugar) පරීක්ෂාවක් සිදු කර ගත යුතුය. එනම් ප්‍රධාන ආහාර වේලකට පැය 2 කට පසු රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමයි. කෙසේ නමුත් GCT හෝ PPBS පරික්ෂාවන් වලදී රුධිරයේ සීනි මට්ටම වැඩි බව පෙන්වූවහොත් ඔබට නිවැරදි OGTT පරීක්ෂණයක් සිදු කර ගැනීම මගින් දියවැඩියාව ඇති බව තහවුරු කර ගැනීමට සිදු වේ. HbA1c පරීක්ෂණයක් සිදු කළ හැකිනම් මෙය ගර්භණි වීමට පෙර සිටි තිබූයේ ද යන්න සැක හැර දැන ගත හැකි වේ.

ඔබ කුමන හෝ දීර්ඝකාලීන රෝගයකට ඖෂධ ලබා ගන්නේ නම් ඒ බව වෛද්‍යවරයාට පවසා ඖෂධ වෙනස් කර ගන්න. මන්ද බොහෝ ඖෂධ ගර්භණි සමයේදී භාවිතයට නුසුදුසු වන බැවිනි. එමෙන්ම එම රෝග පාලනය නිසි ලෙස පවත්වා ගැනීමද වැදගත් වේ. කිසියම් කෙටිකාලීන රෝගයකට ඖෂධ ලබාගැනීමට අවශ්‍ය නම් පළමු මාස තුන තුළදී විශේෂඥ වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගැනීමට සැලකිලිමත් වන්න. තවද කෘතිම හා ක්ෂණික ආහාර වර්ග සහ ආලේපන වලින් ද හැකිතාක් වැළකී සිටීම යහපත් වේ.

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

නිලංගනී උදේශිකා

මූලික රෝහල – වැලිමඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *