නොයෙක් විදියට අල සකස් කරමු

නොයෙක් විදියට අල සකස් කරමු

මෙවර කලාපයෙන් විවිධ ආකාර වලට සකස් කරගන්න පුලුවන් වගේම හුගක් පොඩ්ඩො කන්න කැමති දෙයක් ගැන කතා කරමු.

අල කිරි හොදි, අල තෙල් දාල වගේ දේවල් රසට උයන්න දන්නවනෙ නේද. ඉතින් මං ඒ ගැන කියන්න මහන්සි වෙන්නෙ නෑ. මේවලින් කීයක් හදල තියෙනවද බලන්න.

පාස්ලි පොටෑටෝ: මේකට අපි අල උයන්න කපන විදියටම පොඩි අල නම් 4ට ලොකුනම් 6ට 8ට කපල තම්බන්න. බටර් ටිකක් රත් කරල තම්බපු අල දාල ලුනු ගම්මිරිස් කුඩු චොප් කරගත්ත පාස්ලි එහෙම දාල කලවම් කරගන්න. සැලඩ් වලටත් මෙහෙම ගන්න පුලුවන්. සලාද වලට ගන්නව නම් තම්බල කොටු කපල හෝදන්න පිෂ්ඨ ගතිය ඉවත් වෙන්න.

ලයොනයිස් පොටෑටෝ : අල පෙති කපල තම්බල ගන්න. බටර් ටිකක් රත් කරල ලූණු , බේ ලීෆ් එකක් දාල ලූනු දුඹුරු වෙනකන් බැදගන්න. අල, ලුනු ,ගම්මිරිස් කුඩු එකතු කරගෙන කලවම් කරන්න.

ක්‍රොකැට් පොටෑටෝ :අල තම්බල ග්‍රේට් කරල ඒකට ලුනු ගම්මිරිස් දාල කලවම් කරන්න. අවශ්‍ය නම් මිරිස් කුඩු එකතු කරන්න.දැන් චූටි සිලින්ඩර් හැඩේට තදට රෝල් කරල බිත්තර , බිස්කට් කුඩු තවරල බදින්න. (කුකුළු මස්,මාළු ,එළවළු ක්‍රොකැට් ලෙස සකසා ගන්න පුලුවන්)

මෑශ් පොටෑටෝ :අල සුද්ද කරල කපල තම්බල ගන්නත් පුලුවන්. නැත්නම් අල ගෙඩිය පිටින් තම්බල ගන්නත් පුලුවන්. කොහොම හරි තම්බල පොඩි කරගන්න ඕනෙ. මෑශර් එකක් නැත්නම්, කැරට් ගාන ග්‍රේටර් එකෙන් ගාගන්න හෝ ගෑරුප්පුවකින් පොඩි කරන්නත් පුලුවන්. දැන් පෑන් එකකට කිරි ටිකක් දාල රත් කරන්න. (අල ගෙඩි දෙකට කිරි කෝප්ප බාගයක් ,බටර් ග්‍රෑම් 30 වගේ ගන්න) ඒකට බටර් කෑල්ලක් දාන්න.දිය උනාට පස්සෙ අල ටික ලුනු කුඩු දාල එක දිගට කලවම් කරන්න . ලිප ඕෆ් කරල විනාඩි 4,5 වගේ කලවම් කරාම හොදට බෝලයක් වගේ එකට සෙට් වෙලා පදම එනව. සුදු ගම්මිරිස් කුඩු ටිකකුත් තියෙනව නම් තවත් හොදයි.(ආමන්ඩ් හෝ වෙනත් කජු වර්ග,පාස්ලි හෝ වෙනත් හර්බ් වර්ග වලින් මෑශ් පොටෑටෝ රසගන්වන්නත් පුළුවන්)

චූටි බබාලට ආස විදියට හදාගන්න මෙහෙම: අල තම්බල පොඩියට කපන්න.කිරි ටිකක් උණු කරල ඒකට චීස් (කැමති චීස් එකක් ක්‍රීම් චීස් වඩාත් සුදුසුයි. ) කහ කුඩු ටිකක්, ලුණු දාල හොදට කලවම් කරන්න. විස්ක් කරන්නත් පුලුවන්. දැන් අල එකතු කරගන්න. අල බාගෙට දිය වෙන්න ඕනෙ කලවම් කරද්දි .හුගක් මෑශ් කරන්න එපා.

බේක්ඩ් පොටෑටෝ: අල ටික හොදට සෝදා පොත්ත පිටින් ගන්න. දැන් ලුනු ගම්මිරිස් අත ගාල අවන් එකේ බේක් කරගන්න. ටූත් පික් එකකින් ඇනල බලන්න පුලුවන් ඇතුල කුක් වෙලාද කියල. (බේක් කරන්න කලින් ටූත් පික් හෝ පිහි තුඩින් තැනින් තැන් පොත්ත අනින්න බේක් වෙන අතරෙ පිපිරෙන එක වලක්වන්න.

හෝ අල සුද්ද කරල 4,6,8 ට කපලා ට්‍රේ එකක දාල ලුනු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ඔලිව් තෙල් අත ගාල බේක් කරගන්න

ජැකට් පොටෑටෝ:මේ ජැකට් පොටෑටෝ කියන්නෙ පොත්ත පිටින් අල බේක් කරගන්න ඕනෙ ලුනු ,ගම්මිරිස් , ඔලිව් තෙල් වලින් සීසන් කරල. පොත්ත පුපුරන්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් හරි ටූත් පික් එකකින් හරි තැනින් තැන ටිකක් අනින්න බේක් කරන්න කලින්. ඇලුමිනියම් ෆොයිල් එකකින් හොදට ඔතල අවන් දාන්න.දැන් මේක ලස්සනට පිගානක තියල උඩින් කතිරයක් වගේ කැපුමක් දාල ලිදක් වගේ හදා ගන්න. ඔයා කැමති දෙයකින් පුරවන්න.

චීස් වර්ග ,මාලු /ඉස්සො /සැමන් වර්ගයක් ලූනු එක්ක තෙම්පරාදු කරල සවර් ක්‍රීම් එක්ක, හෝ තක්කාලි, බැසිල් කොල, චීස් වගේ ඔයා කැමති දෙයක් පිරවුමට දාල මේ ජැකට් පොටෑටෝ හදන්න පුලුවන්.

රෝස්ටඩ් බේබි පොටෑටෝ: බේබි පොටෑටෝ ගන්නෙ පොත්ත පිටින්. හොදට හෝදල ලුනු ගම්මිරිස් කුඩු , ඔයා ලග තියන තයිම් හර්බ්, ඔරිගානෝ වගේ හර්බ් වර්ග දාල කලවම් කරල ඔලිව් තෙල් දාල රෝස්ට් කරගන්න. මිරිස් කුඩු අවශ්‍ය නම් එක්තු කරගන්න. ටිකක් තලලා ලුණු ටිකක් ඉහල පිලිගන්වන්නත් පුලුවන්.

අල පෙති සිහින්ව කපල බේකින් ට්‍රේ එකක අසුරන්න, තක්කාලි සෝස් මොසරැල්ල චීස් දාල තට්ටු තට්ටු බේක් කරල ගන්න. ඉස්සෙල්ලම ඇලුමිනියම් ෆොයිල් එකකින් වහල බේක් කරගෙන පස්සෙ විනාඩි දෙකක් ෆොයිල් එක අයින් කරල බේක් කරගන්න උඩින් ලස්සනට දුඹුරු පාට වෙනකන්. (ලසඥ්ඥා ආකාරයට)

හෑශ් බ්‍රවුන්: මේ හෑශ් බ්‍රවුන් සාමාන්‍යෙන් උදේ ආහාර වේලට තමා ගන්නෙ.මේකට මං විදි දෙකක් කියන්නම්. පිෂ්ඨ ගතිය වැඩි අල පාවිච්චි කරන්න.

1.බාගෙට අල තම්බල අරන් ග්‍රේට් කරල ගන්න. තම්බන කොට එලියෙන් සොෆ්ට් උනාට කමක් නෑ ටූත් පික් එකකින් ඇනල බලන්න ඇතුලෙන් ටිකක් හයියට තියෙන්න ඕන. මේ ග්‍රේට් කරපු අල එකට ලූනු ,ලුණු , ගම්මිරිස් , බිත්තර , නැත්නම් පිටි ටිකක්, දාල හොදට අනල රවුම් කුකී කටර් එකකට දාල තද කරල ලස්සනට හදාගන්න.

2. අල තම්බන්නෙ නැතුව ග්‍රේට් කරල ගන්න. පස්සෙ පිරිසිදු රෙද්දකට දාල හොදට මිරිකන්න. දැන් මේකට චූටියට කපාගත්ත ලූනු , ගම්මිරිස් කුඩු, ලුනු කුඩු දාල කලවම් කරම්න. පිටි ටිකක් හරි බිත්තර හරි එකතු කරගෙන හොදට කලවම් කරන්න. හුගක් දියාරුවට ගන්න එපා. කලින් වගේ අච්චුවෙන් රවුමට හදාගන්න.

ඔයා හදල ෆ්‍රීසර් එකේ දාල තියනව නම් ගැඹුරු තෙලේ බැදල ගන්න පුලුවන් . හදපු ගමන් බදිනව නම් තෙල් හෝ බටර් ටිකක දෙපැත්ත බැදල ගන්න. ලූනු කොළ, චීස් වලින් ඔබට ආවේණික ලෙස මේ හෑශ් බ්‍රවුන් හදාගන්න පුළුවන්. සෑම ආහාරයක්ම ඔබට ආවේණික ආහාර වට්ටෝරුවක් කරගන්න.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් : අල පොතු ඇරල පෙති කපල ඒක සමාන තීරු වලට කපල ගන්න.

මේ අල තීරු ටික නටන වතුරේ විනාඩි 4-5 තම්බන්න.(බ්ලාන්ච්) පසුව අයිස් වතුරෙන් සෝදා වතුර සම්පූර්ණයෙන් පෙරාගන්න. දැන් කෝන් පිටි කලවම් කරන්න. වතුර හොදටම අයින් කරලයි පිටි තවර ගන්නෙ.ෆ්‍රීසර් එකේ දාල අවශ්‍ය වෙලාවට බැදල ගන්න.

බදින කොට අල ගොඩක් එක පාර දාන්න එපා.අල වල සීතලට තෙල් වල උශ්නත්ව අඩු වෙලා අල ටික ක්‍රිස්පි ගන්න බැරි වෙයි. තෙල් වල උෂ්ණත්වය අඩූම හෝ වැඩීම කරන්නත් එපා.

අල වතුරෙ බ්ලාන්ච් නොකර තෙල් වල බාගෙට බැදල තෙල් පෙරල ෆ්‍රීසර් දාන්න ත් පුලුව. මේකට කියන්නෙ ඔයිල් බ්ලාන්ච්. ඒ වගේම අල තීරු කිරි වල පොගවල පෙරල පිටි තවරලා ෆ්‍රීසර් එකේ දාලා ගන්න එක තවත් ක්‍රමයක්

*ඔම්ලට්,කරි වලට ප්‍රමාණය වැඩි කරගන්න අල එකතු කරගන්නවා.

*හොදි උකු කරගන්න.

*ලුනු වැඩි උනාම ලුනු ගතිය අඩු කරගන්න.

*අල තෝරන කොට පිෂ්ඨ ගතිය වැඩි අල තෝරගන්නෙ කොහොමද.

ඔයාල දැකල ඇති අල වියලි ගතිය වැඩි වගේම පොත්ත පතුරු විදියට ගලවන්න පුලුවන් අල. මේව පිටි ගතිය අඩුයි. තෙතට තියෙන අල වල පිෂ්ටය වැඩියි.

*අල ස්ටීම් කරල හෝදල සැලඩ් වලට ගන්න.බිත්තර තම්බල එකතු කරගන්න.

*අල කපන හැඩේ හැටියට නම් වෙනස්, තීරු – ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් , කැරලි වගේ කපල කර්ලි ෆ්‍රයිස් , වෙජස්, ස්මයිලි, ක්‍රින්කල් කට් ආදී වශයෙන්.

*පිෂ්ඨය අධික අලවලින් සාදාගත් අල පිටි වලින් බනිස් වර්ග හදන්නත් පුලුවන්.

ඉවීමේ ක්‍රම කිහිපයක් හා අංගසම්පූර්ණ නැති මුළුතැන්ගෙයක රහස් කිහිපයක් සමග ඉදිරි කලාපයෙන් හමුවෙමු.

මං නිෂි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *