මාක්ස්වාදී කාන්තාවාදය

මාක්ස්වාදී කාන්තාවාදය

දේශපාලන දර්ශනයක් හා සමාජ දර්ශනයක් ලෙස එළිදැක්වෙන මාක්ස්වාදය, කාන්තාවාදී ප්‍රවේශයක් ලෙස යොදා ගැනීමෙන් මාක්ස්වාදී කාන්තාවාදය නිර්මාණය වේ. මෙය සමාජවාදී දර්ශනය සමඟ ද සමපාත වේ.

මාක්ස්වාදය ජර්මානු ජාතික සමාජවිද්‍යාඥයෙකු හා දර්ශනවාදියකු වන කාර්ල් මාක්ස් ගේ අදහස් මත ගොඩනැගුණකි. මාක්ස් පවතින සමාජය පංති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගනී. මෙය ඓතිහාසිකව සිදුවන ක්‍රියාවලියක් ලෙස දක්වන මාක්ස්වාදීන් වරින් වර පංති ගැටුම් වලින් පැන නගින සෑම අලුත් සමාජයක්ම කලින් පැවතියා ට වඩා පීඩිතයන් කෙරෙහි සාධනීය වන නමුත්, සියල්ලන්ගේ විමුක්තිය ලැබීමට නම් පංති රහිත සමාජයක් කරා රාජ්‍ය මෙහෙයවිය යුතු බව දක්වයි. මාක්ස්වාදය වර්තමාන සමාජය ධනවාදී සමාජයක් ලෙස අර්ථ දක්වන අතර මෙහි ධනපතීන් විසින් නිර්ධනයන් සූරා කන බව පවසයි.

කාර්ල් මාක්ස් ගේ දර්ශනයන් ෆ්‍රෙඩ්රිච් එන්ගල්ස් විසින් පසුකාලීනව කෘති ලෙස පළ කරන ලද අතර ඒ අනුව 1884 දී පළ වූ “පවුලේ උපත, පෞද්ගලික දේපල හා රාජ්‍ය” කෘතියෙන් පුරුෂ මූලික  පවුල් ක්‍රමයත් එහි කාන්තාව ද්විතීක කෙරෙන ආකාරයත් විග්‍රහ කරයි. මාක්ස්වාදී කාන්තාවාදීන් සිය මතවාදයෙහි මධ්‍ය ලෙස සලකන්නේ මෙම ඓතිහාසික පුරුෂ මූලික සමාජ ක්‍රමය ගැන විග්‍රහයයි. 

වර්තමාන ධනවාදී සමාජ ක්‍රමය තුල පවා කාන්තාවට පෞද්ගලික දේපල වල හිමිකම් දැරීමේ අයිතිය පුරුෂ මූලික සමාජ ක්‍රමයෙන් සීමා කරන ආකාරය මාක්ස්වාදී කාන්තාවාදීන් පෙන්වා දෙයි. පරම්පරාවේ නම ඉදිරියට ගෙන යෑම, දේපල අයිතිය පවුලක පුරුෂයන් ගේ හිමිකමක් මිස කාන්තාවකගේ හිමිකමක් නොවේ. පවුලක ප්‍රධානියා වන්නේද පුරුෂයා ය. පවුලක ට පුරුෂයකු ඉපදීම මේ නිසා වැදගත් සිදුවීමක් සේ සැලකෙන අතර එයින් කාන්තාව පහත් කොට සලකන බව තව දුරටත් ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම දැරියන් හා කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියාව හා විවාහය ද පුරුෂ මූලික සමාජ ක්‍රමයට උවමනා අන්දමට මිස කාන්තාවගේ සැබෑ කැමැත්ත මත තීරණය නොවන බව ද ඔවුන් තව දුරටත් විස්තර කරයි.

නූතන ධනවාදී අර්ථ ක්‍රමයේදී අධ්‍යාපනය හා රැකියා කිරීමට කාන්තාවන්ට අවකාශ සැලසුන ද එහි පැහැදිලි සීමාවන් දැක්වෙන බව ද ඔවුන් පෙන්වා දෙයි. ඉංජිනේරු, ගණිතය ආදී ක්ෂේත්‍ර කාන්තාවන්ට අනුචිත ක්ෂේත්‍ර ලෙස නම් කෙරෙන අතර මානව ශාස්ත්‍ර වෙත වැඩි යොමුවීමක් කරවයි. රැකියා අතින් ද ගුරු, හෙද වැනි කාන්තා ඇඟවුම් සහිත රැකියා වෙත වැඩි බරතැබීමක් වෙයි. එමෙන්ම කාන්තාවකගේ රැකියාව හා අධ්‍යාපනය බොහෝ විට ඇයගේ ආර්ථිකමය හා සමාජීය ස්වාධීනතාවය සඳහා මාර්ගයක් ලෙස නොව විවාහයට සුදුසුකම තීරණය කිරීමට සලකා බැලෙන සාධකයක් ලෙස පුරුෂාධිපති සමාජය වටහාගෙන ඇති බව ද ඔවුන් විවේචනාත්මකව පෙන්වා දෙයි. ඉහළ බුර්ෂුවා පාන්තික කාන්තා ක්‍රියාකාරීත්වය ද විවේචනය කරන ඔවුන් බහුතරය වන පීඩිත පන්තියේ කාන්තාවගේ තත්ත්වය වටහා ගැනීමට අවබෝධයක් ඔවුන් සතුව නැති බව ද පෙන්වා දෙයි.

මේ සියලු සමාජ ආර්ථික පීඩනයන්ගෙන් නිදහස් ව කාන්තාව පුරුෂයා හා සමාන ස්වාධීන මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට නම් මාක්ස්වාදය පෙන්වා දෙන පංති රහිත සමාජය වෙත රාජ්‍යය ගමන් කළ යුතුය යන අදහසේ මාක්ස්වාදී කාන්තාවාදීන් ද විශ්වාස කරයි. ඒ අනුව අවසාන කාන්තා විමුක්තිය පංති රහිත සමාජ ක්‍රමයේදී ඉටු වනු ඇති බව ඔවුන් අපේක්ෂා කරයි.

ධනවාදී අර්ථ ක්‍රමයේදී කාන්තාවගේ විමුක්තිය ආර්ථික ස්වාධීනතාවයෙන් ලඟා කර ගත හැකි බව ද මාක්ස්වාදී කාන්තාවාදයේ අදහසයි. ක්ලාරා සෙට්කින්, රෝසා ලක්ෂම්බර්ග්, එලෙනෝර් මාර්ක්ස්, ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්ටායි ආදීන් මාක්ස්වාදී කාන්තාවදයේ මුල්කාලීන ප්‍රමුඛත්වය ගත් සාමාජිකාවන් ලෙස දැක්විය හැක. පසුකාලීන ප්‍රමුඛ සාමාජිකාවන් ලෙස ෂුලාමිත් ෆයර්ස්ටෝන්, එව්ලින් රීඩ්, ඇන්ජෙලා ඩේවිස්, සිල්වියා ෆෙඩෙරිසි ආදීන් සටහන් වේ. 1967 දී ග්ලෝරියා මාටින් ගේ මූලිකත්වයෙන් පිහිටා ගත් “රැඩිකල් වුමන්” සංවිධානය මාක්ස්වාදී කාන්තාවාදයේ දර්ශනය රැගත් ගෝලීය ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවිධානය ලෙස හැඳින්විය හැක. අරාජික කාන්තාවාදය හා සමාජවාදී කාන්තාවාදය ද මාක්ස්වාදී කාන්තාවාදය හා සමපාත වන අනෙකුත් ගුරුකුල ලෙස ද මෙහි ලා සඳහන් කළ යුතුය.

සජිනි උයන්ගොඩ විසිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *