ලංකාවටම මවක් වූ ඇය පුෂ්පා අලුත්ගමගේ

ලංකාවටම මවක් වූ ඇය පුෂ්පා අලුත්ගමගේ

කුඩා දරුවන් කියන්නේ අපේ අනාගතය බාරගන්න ඉන්න සම්පත.කුඩා දරුවන්ගේ පූර්ව ළමා විය පිළිබඳ කතා කරන්න අද ලියාරා සමග සම්බන්ධ වෙන්නේ  පූර්ව ළමාවිය ළමාවිය අධ්‍යාපනඥයන්ගේ සංගමයේ සභාපතිනිය සහ ඇමරිකානු මොන්ටිසෝරි හා ගුරු පුහුණු මධ්‍යස්ථාන සමූහයේ  අධ්‍යක්ෂිකා පුෂ්පා අලුත් ගමගේ මහත්මියයි.

පූර්ව ළමාවිය අධ්‍යාපනය යනු කුමක්ද ?

දරුවෙක් සමාජය පිළිබඳව මූලික ඥානයක් ලබා ගැනීමට අවකාශ සැලැස්වීම තමයි මම පූර්ව ළමාවිය අධ්‍යාපනය ලෙස දකින්නේ.

දරුවෙක් දෙමව්පියන්ගෙන් ඈත්වෙලා පළමුවෙන්ම පැමිණෙන්නේ මොන්ටිසෝරියට .ඒ පැමිණෙන දරුවා පාසලට යෑමට පුහුණු කිරීමක් නොවෙයි මොන්ටිසෝරියෙන්  සිදුවිය යුත්තේ .දරුවෙක් ලෝකයට පා තැබීමට අවශ්‍ය අත්තිවාරම දැමීම තමයි මොන්ටිසෝරියෙන් සිදු විය යුත්තේ .

මොන්ටිසෝරියක්  ආරම්භ කිරීමට තිබිය යුතු සුදුසුකම් මොනවා ද ?

ඇත්තටම කාරණා තුනක් තිබෙනවා.ගුරුවරු සහ අධ්‍යක්ෂකතුමිය සුදුසුකම් ලත් අය විය යුතුයි .අවම වශයෙන් වසර දෙකක් වත් පාඨමාලාවක් හදාරා තිබිය යුතුය .සුදුසු පරිසරයක් විය යුතුයි.එනම් දරුවාට ගැලපෙන ලස්සන සහ පිරිසිඳු  පරිසරයක් තිබිය යුතුය.ඒ වගේම වසර 2 1/2 සිට 5 දක්වා වයස් කාණ්ඩවල දරුවන් සිටිය යුතුයි. එවැනි මිශ්‍ර වයස්වල දරුවන් සිටීමෙන් වයසෙන් වැඩි දරුවන්ව වයසින් බාල දරුවන් විසින් අනුගමනය කිරීමක් සිදුවෙනවා.

මොන වගේ  අධ්‍යාපන ක්‍රමයක්ද මේ දරුවන් සඳහා භාවිතා කරන්නේ ?

ඇමරිකානු පෙර පාසල් ක්‍රමය තමයි අපි අනුගමනය කරන්නේ.දරුවෙක් මුලින්ම පැමිණුන විගස අපි අකුරු ගැන්වීමක් සිදු කරන්නේ නැහැ. මුලින් ම පරිසරයට පුහුණු කිරීමක් තමයි සිදුකරන්නේ.පන්තියට පැමිණෙන විදිය, තනියම ආහාර ගැනීම වැනි දෑ හුරු කරනවා.ඊට පසුව පංච ඉන්ද්‍රියන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය ක්රියාකාරකම් ආරම්භ කරනවා .

ඔබතුමිය මේ පැමිණුනු ගමන් මග ගැන සඳහන් කරොත්.

මම මීට වසර විසිපහකට පෙර තමයි මොන්ටිසෝරි ගුරුවරියක්  විදිහට පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව මොන්ටිසෝරියක් ආරම්භ කරේ.දරුවන් අට දෙනෙක්ගෙන් සැප්තැම්බර් මාසයේ පටන් අරගෙන දෙසැම්බර් වෙනකොට දරුවො හතළිහක් දක්වා වැඩි වුණා.ඊළඟ වසර අවසානයේදී දරුවෝ 125 ක් දක්වා වර්ධනය වුණා.2003 වර්ෂයේදී මොන්ටිසෝරි ඉන්ස්ටිටියුට් ඔෆ් ඇමරිකාවෙන්  මගේ පෙර පාසල බලන්න පැමිණියා.ඔවුන් ගොඩක් සතුටු වුණා මගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව .පසුව මගෙන් විමසුවා ලංකාවේ පුහුණුවීම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කැමති ද යන වග.මම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව  ඔවුන් මගේ අරමුණු ගැන සටහනක් ලියන්න ඉල්ලීමක් කරා.ඉතින් මම පිටු දෙකක් පුරාවට ලිව්වා මෙය ලංකාව පුරාම ව්‍යාප්ත වෙනවට මම කැමැති බව .පසුව ඔවුන් ගොඩක් සතුටු වුණා මගේ අරමුණු ගැන.ඊළඟට පැවසූවා ලංකාවේ නියෝජිතවරිය ලෙස මාව තෝරා ගන්නා බව.මාව ඇමරිකාවට ගෙන්වා තුන්වතාවක් පුහුණු කරා .ඊට අමතරව සෑම වර්ෂයකම මාව දැනුවත් කරා.එහෙ යෑමෙන් පසු තමයි මම දැන ගත්තේ පෙරපාසල් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා.ප්‍රථමයෙන් මම ගුරුවරු පුහුණු කිරීමේ   අධ්‍යාපන මධ්‍යස්ථානයක් පටන් ගත්තෙ නුවර .ඉන්පසු කොළඹ.මේ වෙනවිට රාජගිරිය සහ කොල්ලුපිටියෙත් ආරම්භ කර තිබෙනවා .

අවසාන වශයෙන් මොන්ටිසෝරි පවත්වාගෙන යන්නන්ට හෝ දෙමව්පියන්ට ලබා දිය යුතු පණිවිඩයක් තිබෙනවාද ?

මොන්ටිසෝරි පවත්වාගෙන යන අයට මම කියන්න කැමතියි ප්‍රථමයෙන් අවශ්‍ය සුදුසුකම් ලබා ගන්න.තව මොන්ටිසෝරියක් අනුකරණය නොකර සිටිනවා නම් තමයි වඩාත් සුදුසුයි.උදාහරණයක් විදිහට වෙන මොන්ටිසෝරියක විවිධ ප්‍රසංගය වගේ දේවල් ඊළඟ වසරේදී ඒ විදිහටම සිදු කරනවා .ඒ වගේම තවත් පෙර පාසලක පාට කරන ෆයිල්  එක දිහා බලලා ඊළඟ අවුරුද්දේ ඒ වගේම ෆයිල් එකක් නිර්මාණය කරනවා.තව කෙනෙක් අනුකරණය නොකර හොඳ තැනකින් ඉගෙන ගෙනමොන්ටිසෝරියක් පවත්වාගෙන යනවා නම් තමයි සුදුසු .ඒ වගේම ළමා මනෝ මනෝ විද්‍යාව සහ දරුවන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳ ගුරුවරු අධ්‍යනය කරලා තිබෙනවා නම් ඉතා පහසුයි දරුවන් හසුරුවන්න .ඒ වගේම දෙමාපියන්ට කියන්න කැමතියි විශේෂයෙන් පහසුව පමණක් නොතකා මොන්ටිසෝරි  ගුරුවරු සුදුසුකම් ලත් අය ද, දරුවන්ට සුදුසු පිරිසිදු පරිසරයක් තිබෙනවා ද, දරුවන්ට සෙල්ලම් කරන්න අවශ්ය ඉඩ පහසුකම් තිබෙනවා ද , අවශ්‍ය වාතාශ්‍රය ලැබෙනවාද යන්න සොයා බලා මොන්ටිසෝරියක් තෝරා ගත යුතු යි.

රටටම මවක් වන අතරේ ඔබතුමිය දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ මවක්. මෙතරම් කාර්‍යබහුලත්වයක් සමඟ ඔබ කොහොමද ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්නෙ?

ඇත්තටම මගේ දරුවන් දැන් වයස විසි ගණන් වල ඉන්නේ නමුත් අදටත් මම ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරනවා. මම ලබපු පුහුණුවන් මේ අයුරින් දරුවන් හා සමඟ සමීප සබඳතාවක් ගොඩ නගාගන්න ඉතාම උපකාරි වුණා. මම හැම වෙලාවෙම දරුවන්ට මිතුරියක් වුණා. ඔවුන් තුන්දෙනාම එකම ක්ෂේත්‍රයක තමයි රැකියාවේ නිරත වෙලා ඉන්නේ. ඒ ගුවන් සේවයේ. පුතා පොඩි කාලේ ඉඳලාම ලොකු ඇල්මක් දැක්වූවා ගුවන් යාන සඳහා. සෙල්ලම් ගුවන් යානා තෑගි ලැබුණාම කෑල්ලෙන් කෑල්ල ගලවලා බලන පුරුද්දක් ඔහුට තිබුණා. මම හැම වෙලේම ඔහුව ඒ සම්බන්ධයෙන් දිරිමත් කළා. සෑම විටම ඔවුන්ට ආසා කරන දේවල් කරන්න ඉඩ දීලා ඒ ඒ මාර්ග වල යන්න ඉඩ සලස්වලා දුන්නා. හැම වෙලේම දරුවන් අතරෙත් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. එක්කෙනෙක්ගේ විභාගයක් තියනවා නම් අනික් දෙන්නම එයාට උදව් කරනවා. දරුවන්ට අදටත් මම මුල්තැන දෙනවා. ඔවුන් කලාතුරකින් තමයි දැන් ගෙදර රැඳෙන්නේ නමුත් ඔවුන් ඉන්න දිනයකදී නම් අනිවාර්‍යයෙන්ම ඔවුන්ගේ කෑම හැදෙන්නේ මගේ අතින්. ඒ වගේම අපි කිසි කෙනෙක් අතරේ රහස් නැහැ. පුතා වුණත් හැම දේම අදටත් මට කියනවා. මාස තුනකට සැරයක්වත් අපි එකතුවෙලා විනෝද චාරිකාවක් යනවා. ඒ වගේම මම ලෝකේ කොහේ හිටියත් ඔවුන්ගෙන් එන දුරකථන ඇමතුමක් ආවත් ඒකට උත්තර දීලා තමයි අනිත් වැඩ කරන්නෙ.

මම අධ්‍යක්ෂක කෙනෙක් ගුරුවරියක් වගේම හොඳ අම්මා කෙනෙක්. මට උයන්න පිහන්න, මහන්න වගේම ගේ දොර අස් කරලා පිළිවෙලට තියාගන්නත් හොඳට පුළුවන් සහ ඒ දේවල් වලට මම සියලුම රාජකාරී අතරේ කාලය වෙන් කරනවා.

ඇත්තටම වෙලාව නෑ කියලා කියන එක නම් මම විශ්වාස කරන්නෙ නෑ. නිසි ලෙස කාලය කළමණාකරණය කරගන්නවා නම් අනිවාර්‍යයෙන්ම කාන්තා ඔබට මේ සියල්ල කළ හැකි වෙනවා.

දරුවෙක් කියන්නේ අහම්බයක් හෝ ඉබේ ලැබුණු දෙයක් නෙමෙයි. ඉතින් තමන්ගේ ඒ දරුවන් වෙනුවෙන් තමන්ට යම් කිසි කැපවීමක් කරන්න බැරි නම් මම හිතන්නේ ඇය තම යුතුකම සහ වගකීම පැහැර හරින්නියක්. කාන්තාවක් වීමම ආශිර්වාදයක් කරගෙන සියලු කටයුතු නිසි ලෙස සමබරව කරගෙන යාමට කාන්තාවන්‍ට හැකි වෙන්න ඕනේ.

ලියාරා පාඨකයන් දැනුවත් කිරීම සඳහා වටිනා කාලය කැප කළ පුෂ්පා අලුත්ගමගේ මහත්මියට ලියාලා වෙනුවෙන් විශේෂ ස්තූතිය පළ කරන අතර අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දමන තව තවත් ධෛර්ය හා ශක්තිය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරනවා.

පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සමග සිදුකළ හරවත් සහ විශේෂ සම්මුඛ සාකච්ඡාව ඔබට ලියාරා යූ ටියුබ් චැනලය හරහා නැරඹීමට අවස්ථාව ඇත ..

සනාලි ප්රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *