ලවන්යා -අටවන දිගහැරුම

ලවන්යා -අටවන දිගහැරුම

මොහොතකට … එකම එක සිතුවිල්ලක් පමණක් හදවත කොනින් ඇයට කෑගසා කිවේ ඔහුගේ ආදරය බොරුවක් නොවන බවය. ඒ ආදර කතා විහිලුවක් නොවන බවය. කඳුළු පටලයකින් වැසුන ඇගේ නෙත් එකම ඇහිපිල්ලමක්වත් නොගසා ඔහු වෙතම යොමු කරගෙන සිටියාය.

තත්පර කිහිපයක් වික්ෂිප්ත නෙතින් ඇය දෙස බලා සිටි සදේෂ් ඊළඟ මොහොතේ මහ හඬින් සිනහ වුයේ ලවන්යා තිගැස්සි යද්දිය. අත් දෙක එකිනෙක ගසමින් ඔහු සිනහවෙද්දි ඒ හඬ විසල් නිවසේ බිත්ති පුරා දෝංකාර දෙද්දි ලවන්යා අපහසුවෙන් නෙතින් පනින්නට දඟලන කඳුළු දරාගෙන ඔහු දෙසම බලා සිටියාය. ඔහු සිනහව නවතා ගෙන ඇය වෙත හුස්ම වදිනතරම් දුරකින් විත් නවතින තුරුම ඇය එක එල්ලේ නොසෙල් වී බලා සිටියාය.

“මට ඉතිං මොනවද හලෝ කරන්න කියන්නේ? මම වියෝජි කෙනෙක් නෙමෙයි. ගිහිං ඔය සල්ලි ටිකක් විසිකරලා හොද ඩොක්ටර් කෙනෙක් අල්ලා ඇබෝෂන් එකක් කරගන්නවා.. පුරුදු ඇතිනේ නේද කලිනුත් එහෙම කරලා.”

ඇගේ පපුව සිරවිය. ගතම වෙව්ලා ගියේ දැවෙමින්ය.

“සදේෂ්!!”

ලවන්යා කෝපය දරාගත නොහැකිව කෑගැසුවේ වෙව්ලමින්ය.

“ෂු… කටවහගනිං. මේක මගේ ගෙදර. උඹට මොන හයියක්ද මගේ ගෙදර මට පුප්පන්න.”

“තමුසේ මහ බල්ලෙක්.. තමුසේ… තමුසේ…”

ලවන්යා ඔහුගේ ඇගට කඩා පැන ඇද සිටි ටී ෂර්ටයේ එල්ලි වදනක් එලියට දා ගත නොහැකිව කෝපයෙනුත් කලකිරිමෙනුත් වෙව්ලද්දී සදේෂ් ලවන්යාගේ දෑතම රිදෙන තරම් තදින් අල්ලා ඇයව පසෙකට තල්ලු කර දැම්මේ දත් මිටිකමිනි. ඇය විසිව ගොස් නොවැටි බේරුනේ බිත්තියට අමාරුවෙන් හරි වාරු වු නිසාවෙනි.

“සිකියුරිටිට කියලා එලියට දාන්න කලින් පලයං මෙහෙන්.”

“මාව එළියට දාලා උබට බේරෙන්න පුලුවන් කියලද හිතුවේ මිනිහෝ. දැනගනිං මම උඹව අතඅරින්නෙත් නැ. මම වලට යන්නේ උඹවත් ඇදගෙන.”

ලවන්යා කෑගැසුවේ නෙතින් කදුලු පනිද්දිය. පැන්න ගමන් සදේෂ් ඇගේ හිසකෙස් එක මිටට ගෙල පිටුපසින් අල්ලා ගත්තේය.

“ඇයි තෝ මට මොනා කරන්නද? අහ්… මාව මරන්නද?”

“නෑ… උබට මරණේ සැප වැඩියි මිනිහෝ… බලපන් මේ බඩේ ඉන්න එකා ලව්වම මම උඹව හිරේට දානවා. මගේ තාත්තට කරපු අපහාසෙට වැඩිය උඹට අපහාස විදින්න වෙයි.”

“අප්පෙක් නැති බඩක් තියාගෙන මට අපහාස කරන්න කලින් දැනගනිං උඹට පාරක බැහැල යන්න බැරිවෙනබව.”

“ගහපුදෙන් ගල් මට… කමක් නැ. නමුත් මම උඹෙන් පලි ගන්නවා මිනිහෝ.. උඹ හිතුවද මම හොටු පෙර පෙර ගිහිං ළමයා නැති කරගෙන ගෙයි මුල්ලට වෙයි කියලා. එහෙනම් තමුසේ මේ ලවන්යා ගැන නොදැනයි එහෙම හිතන්නේ.”

ඇය දත්කුරු අතරින් පවසද්දි ඒ මුවින් පිටව ගිනි රස්නේ හුස්ම පොදින් සදේෂ්ගේ වත දැවෙන්නට විය. ඔහු ලවන්යාව එහෙමම ඇදගෙන ගොස් ගෙයින් එළියට තල්ලු කර දැම්මේය. ඇය තණබිස්ස මත ඇද වැටුන පසු සදේෂ් ඇගේ වතට නැඹුරු වුනේ දබරැඟිල්ල දිගු කරගෙනය.

“වැඩිය දැඟලුවොත් උඹව එලොව යවන්නත් මට බැරි නැ. ඒත්… මට ඕනේ උඹ මෙලොව ඉඳන් විඳවන්න. මට මගේ යාලුවෝ ෆැමිලි එක ඉස්සරහ වුන ලැජ්ජාවට උඹට විදවන්න දෙන්න. මාව උඹ රැවැට්ටුවේ… සදේෂ් වික්රමසිංහව…”

ඔහු එසේ ඇයට තර්ජනය කරද්දි බිම සිටිම ඔහු දෙස ගිනි පිටවෙන නෙතින් බලා සිටි ලවන්යා ඔහුගේ මුහුණට කෙළ පිඩක් ගැසුවේ කෝපයෙනි. සදේෂ්ගේ අත වේගයෙන් ඇගේ දෙකම්මුල් හරහා වැදෙද්දී ලවන්යා තණ බිස්ස සුරමින් කෑගැසුවේ වේදනාවටත් වඩා මේ පරාජය මේ අපහාස දරාගත නොහැකිවය. මේ රැවටිල්ල..  රැවටුනේ ඔහු නොව තමාය… එය ඇයට දැරිය නොහැක.

“සිකියුරිටි මේ වේස ගෑණිව එළියට ඇදලා දාපන්. ආයේ මේ වගේ එවුන්ට ඇතුල්ට එන්න දුන්නොත් උඹලගේ රස්සාවත් ඉවරයි. දැනගනිං මේක ගණිකා මඩමක් නෙමෙයි.”

ඔහු එසේ පවසා නිවසට වැදී දොර වේගයෙන් වසද්දි ලවන්යා ගිරියටින් කෑගසා හැඩුවාය.

“සදේෂ්…. උඹව මම අත අරින්නේ නෑ මිනිහෝ…  තමුසෙගේ මේ ජරා ලේ වලින්ම මම තමුසෙව මහ උලු ගෙදර යවලයි නතර කරන්නේ.”

ඇය ඔහුට සාප කළාය. උගුර රහ වනතුරු කෑගැසුවාය. ඇයව අල්ලන්නට ආ මුරකරුවන්ව සූරා තර්ජනය කරමින් අවසානයේ එතැනින් ඉවත්වෙද්දි සදේෂ් උඩුමහලේ සදළුතලේ සිට බලා සිටිනු ඇය වැසෙන ගේට්ටුවෙන් දුටුවාය. ඔහු කුරිරු ලෙස සිනහවක් පා මත් වීදුරුවක් අත තබා ගෙන ඇය දෙස බලා සිටිනු දැක අවසානයේ පාර අයිනක තිබු ගලක් ගෙන ඇය ඔහුට දමා ගැසුවේ තරහින්ය. එය ජනේලයක විදුරුවකට වැදි ඉරිතලද්දි ලවන්යා ඉවතට හැරි පාර දිගේ ඇවිද ගියේ දෑසේ වු කඳුළු පිටිඅත්ලෙන් පිහමින් කෝපයෙනි.

“තමුසේ තවත්  ඒ යකාගේ කකුල් දෙක ළඟට ගියේ මොකටද මෝඩි?”

පවන් ගිරියටින් කෑගසා ලවන්යාගේ ඇගට කඩා පනිද්දි රත්වත්තේ මහතා මෙන්ම පාරමිද නිහඬව තොලපුපුරා කම්මුල් රතු කරගෙන පිස්සියක මෙන් සිටින ලවන්යා දෙස බලා සිටියේ වේදනාවෙනි.

“මම ඒ යකාට පරදින්නේ නැ. එකපාරක් නෙමෙයි සිය වතාවක්  ඌ ළඟට යනවා හැබැයි මම ඒ යන්නේ එකාව බිමටම ඇදලා දාන්න මිසක් වෙනදේකට නෙමෙයි. මම  ඌට යහතින් ඉන්න දෙන්නේ නෑ නෑ  නෑමයි…”

“තාත්කේ මේකි අපිට කරපු අවනම්බුව මදිවෙලාද මේ තවත් අපිව නැත්තටම නැති කරන්න දඟලන්නේ. මේකිගේ හිතුවක්කාරකම… දැන් මුණ හංගගෙන ඔය බඩේ ඉන්න එකාව නැති කරගෙන තියෙන නම්බුව හරි බේරගන්නවා.”

“ඇයි මම මූණ හංගන්නේ. ඇයි මම මේක නැති කරන්නේ. නෑ… මම විතරක් මොකටද තනියම අපහාස විදින්නේ  ඌවත් මම නැතිකරනවාමයි. ඩි එන් ඒ රිපෝට් එක අරන් උන්ගේ පවුලේ හැම එකාගේම මුණට ගහනවා මම..  මම ලවන්යා රත්වත්තේ මිසක් එකා හිතන විදිහට ආතක් පාතක් නැති එකියක් නෙමෙයි”

“තාත්තේ මේකිට මොන යකෙක් වැහිලද?”

“ලොකු දුව නංගිව කාමර්ට ගෙනියන්න.”

වියරුවෙන් මෙන් කියවන ලවන්යා දෙස නොබලා ඉවත බලාගෙන රත්වත්තේ මහතා පවසද්දි පවන් පියා වෙත අඩියට දෙකට ලං විය.

“තාත්තේ… දැන්වත් මේකිගේ කණ පුපුරන්න දෙකන් දිලා මතක් කරන්නේ මේකි පිරිමියෙක් නෙමෙයි කියලා. එයාට ඕන විදිහට නටන්න දුන්නා ඇති.”

පවන් කෝපයෙන් පවසද්දි රත්වත්තේ හිනියට රිදුම් දෙන පපුවට අතක් තබාගෙන වත්තට බැස ගත්තේය. ලවන්යා කිනම් දරුවෙක්දැයි ඔහු දනී. ඇය පවන්ටත් පාරමිටත් වඩා දැඩි සිතුම්පැතුම් ඇත්තියකි. ඇයව නතර කරලිම ලෙහෙසි නැත. අද වනතුරු නියපිටින් පහරක් නොගහා හැදු දරුවාට අදද වචනයක් පවසා ගත නොහැකිව රත්වත්තේ මහතා ලතවෙන්නට විය.

නිවැසියන්ගේ දැඩි විරෝධය මැද ලවන්යා පහුවදා නිවසින් පිටව ගියේ විශ්වවිද්යාලයට යෑම සදහාය.

“මම මොන වරදක් කරාටද ගේ අස්සට වෙලා හැංගෙන්නේ. අරකාට පුලුවන්නම් ඔලුව කෙලින් තියන් වටේ යන්න ඇයි මම ගේ අස්සේ ඉන්නේ. මම තනියම කරගත්තුවද මේ?”

ඇගේ වචන වලට ඉවසිමේ සිමා පැන පවන් ඇයට පහර දෙන්නට පැන්නත් පාරමි මැදට පැන්න නිසා ඔහුට කිසිවක් කල නොහැකි විය.

“නංගි අඩුම තරමේ තාත්තා ගැන හිතලා හරි ඔය දරුවා නැති කරලා අනාගතේ හදාගන්න. ඔයාට සල්ලි තියනවා, ලස්සන තියනවා… ඉතිං මෙහෙම වෙන්න ඕන නෑ. කොල්ලෝ මොනදේ වුනත් ඔය ලස්සනට වහ වැටිලා පස්සේ එයි. “

කොළඹ යන අතවාරයේ පාරමි වාහනය පදවමින් ලවන්යා දෙස බලමින් පවසද්දි ඇය කලේ ඉවත බලා ගෙන පසුවෙන මහ සයුර දෙස බලා සිටිමයි. රළට වෙහෙසක් නැත. වෙරලට පැමිණ ආපසු හැරි යයි. එහෙත් යලි වෙරලම සොයා ඇදෙයි.

“නංගි… තාත්තාගේ නිහඬකම පිටිපස්සේ තියෙන වේදනාව තේරුම්ගන්න. අද වෙනකම් දැකලා තියනවද තාත්තා ඔහොම ඉන්නවා. ඔයාට සදේෂ්ට වඩා හොද කොල්ලෙක් ලැබෙයි. ඕකව අමතක කරන්න. ඔයා ගමේ ඉන්න ඕන නෑ. කොළඹ මගේ ගෙදර නතර වෙන්න. හැමදේම ටිකෙන් ටික ගමේ අයට අමතක වෙයි. මිනිස්සුන්ට තමන්ගේ ජිවිත වල ප්‍රශ්ණ එක්ක හැමදේම මතක ටික දවසයි.”

පාරමි පැවසුවත් ලවන්යාගේ හිත ගොජ ගොජ ගා නටන තෙල් බැරලයක් මෙන් ගිනියම්ව තිබුණේ සදේෂ්ගේ ඒ අපහාස කතාය. තම පවුලත් තමාත් පහත් කල අයුරුය. ඔහුගේ ආදරය විශ්වාස කල තරමටම, ඔහුට ආදරය කළ තරමටම අද ඇගේ හිතේ වෛරය දලුලා වැඩෙන්නට විය.

සරසවි බිමට ඇතුල් වුවද ඇය සිතු ලෙස සමාජයට මුහුණ දිම පහසු නොවුනි. සදේෂ්ගේ පහත්කම ප්රදර්ශණය කරමින් ඔහු සරසවිය පුරා ඔහුගේ සල්ලි බලය යොදවා ඇයව බිමටම ඇද දමන්නට සැලසුම් කර තිබියදි අනෙක් පසින් රවිඳුද තම පලිගැනිමේ අරමුණ ක්‍රියාත්මක කරමින් තිබුණි.

“අහ් ලවන්යා.. අපිටත් බැරිද දන්නේ නැ නේද පොඩ්ඩක් ආශ්‍රය කරන්න..”

“සල්ලි තියන තැනට විතරමද ඔය ඇඳුම් ගැලවෙන්නේ…”

“පැයට කීයද?”

දනින දකින එකාගේ අවලම් කතා අසා ඇය හොඳටම හෙම්බත් වෙද්දිවත් එකම කඳුලක් නොහෙලු ඇය සියල්ලන්ටම රවමින් දේශන ශාලාවට ගියත් කලු ලෑල්ල පුරා ලියා සිතුවම් ඇද තිබු කුණුහරුප කතා දැක ඇය කෝප විය. ඇය තරහින් සියල්ල මකා දමා ශාලාවේ සිටින එවුන් වෙත හෙලුවේ නෝපය පිරුණු බැල්මකි.

“තමුසෙලා ඔච්චර වේලි වේලි ඉන්න එවුන්ද ඕයි. මම හිතුවේ නෑ කෙල්ලෙක් ඇඳට ගන්න බැරිව වේලෙන එවුන් කියලා මේ කැම්පස් එකේ ඉන්නේ. පාරට බැහැලා බලනවා රුපියල් පන්සියේ ඉදන් ඇති තමුසෙලගේ ගිනි නිවන්න එවුන්.”

ලවන්යා කෑගසද්දි ඇගේ මිතුරිය අතින් ඇද්දේ බියෙනි.

“එපා ලවන්යා… සද්ද නැතුව ඉන්න”

“නෑ ඉතිං රුපියල් පන්සියට මේවගේ පොෂ් චීස් කැලි ගන්න බෑනේ සුදෝ. අපි හිතුවා අපිටත් අනුකම්පා කරයි කියල”

“පිස්සුද බන් ඒවා සල්ලිකාරයන්ටම විතරයි. අපිට ඉතිං එහෙම චාන්ස් නෑ.”

ඒ අවලම් කතා තවත් අසා සිටිය නොහැකිම තැන අතේ තිබු පොත් ටිකෙන්ම ඉදිරියේ සිටි කොල්ලාට දමා ගැසු ලවන්යා දේශන ශාලාවෙන් ඉවතට දුවද්දි මුල් ශාලාව හූ හඩ දෙනු ඇයට ඇසුනි. ඇය වැසිකිලියක් තුළට රිංගාගෙන මේතරම් වෙලාවක් හංගා සිටි කඳුළු එළියට පනින්නට ඉඩ දුන්නාය. ළය පලා දැනෙන වේදනාව ඉවසා ගත නොහැක.

දේශනයට නොඉඳම නිවසට යන්නට සිතා වැසිකිලියෙන් ඉවතට  ආවත් එකවරම කිහිපය දෙනෙක් ඇයව වට කරගනිද්දි ලවන්යා බියෙන් සලිත වුවාය. තවත් නම් මේ සියල්ල හා හැපෙන්න ඇයට ශක්තියක් නැත.

“මට යන්න දෙන්න ප්ලීස්.”

“ඔහ්… මැඩම් ප්ලීස් කියන වචනෙත් කියන්න දන්නවා එහෙනම්.”

ඒ හඩ ඇසුනේ ඇය වට කරගෙන සිටි තරුණයින් පිරිසට පිටුපසිනි. ඔහු ඇය ඉදිරියට තරුණයින් අතරින් සරදම් සිනහවක් පාමින් එද්දි ලවන්යාගේ මුව විමතියෙන් විවර විය.

“ර… රවිඳු…”

“ඔව්… රවිඳු තමයි මැඩම්. තමුසෙගේ එක්ස් බෝයි ෆ්රෙන්ඩ්ලාගෙන් එකෙක්.  මැඩම් පාවිච්චි කරලා සල්ලිකාර කොල්ලෙක් හම්බවුන ගමන් බල්ලට දාපු රවිඳු තමයි මම.”

“ප්ලීස් රවිඳු තමුසේ කරපු හරිය හොඳටම ඇති. සදේෂුයි මමයි අතර වුන හැමදේටම හේතුව තමුන් තමයි.”

“මම!!! ඔහ්..  ඒ බර පැන නම් මට පටවන්න එපා. මම තමුන්ව කවමදාවත් ඇඳකට අරන් නෑ. බලද්දි ලවන්යා තමුසේ මාවත් අන්දලා නේද?”

ලවන්යා වෙව්ලා ගියාය. සදේෂ් එලෙසනම් ඒ සියල්ලත් සැමටම අඬබෙර ගසා පවසා ඇත. මා කන්‍යාවියක බව ඔප්පු කරගත නොහැකි වු ගැහැණියක බව. ලවන්යාගේ හිත වෙව්ලා යන්නට විය.

“මො.. මොනවද?”

“මේක දැක්කද මැඩම්…”

ඔහු ෆෝනයෙන් පෙන් වු විඩියෝව දෙස ඇය බලා සිටියේ මුව විවර කරගෙනය. නෙත පලාගෙන කඳුළු ගොන්නක් ගලා යන්නට විය. එහි වුයේ පෙරදින ඇය ඔහුගේ හෝටලයේ කාමරයට ගොස් ඔහු ඉදිරියේ බැගැපත් වු දර්ශණය.

“අනේ සදේෂ් විශ්වාස කරන්න මම ඔයාට බොරු කරේ නෑ. මම ඇත්තටම දන්නේ නෑ මට එහෙම දෙයක් ඔප්පු කරගන්න බැරි අවාසනාවත් කෙල්ලෙක් වුනේ කොහොමද කියලා.”

ඇය නෙත් තද කර පියා ගත්තාය. සදේෂ් මේතරම් පහතටම ඇද වැටි තමාගෙන් පළිගන්නට තරම්ම තමා කළ වරද කුමක්දැයි ඇයට වටහා ගත නොහැකි විය. එකම එක දෙයක් නිසා ඔහු තමාට තිබු ආදරය, ඒ ගෞරුත්වය සියල්ල ලෝකයා හමුවේ ගිනිබා දැමුවා නොවෙද? එකම ලේ බිදුවක් නිසා.

විඩියෝව එතැනින් අවසන් නොවුනි. ඉන් ඉදිරියට කාමරය තුළ සිදුවු දෙයද වට්ස් ඇප් විඩියෝවේ ක්‍රියාත්මක වෙද්දි ලවන්යා කෑ ගසා රවිඳුගේ අතින් එය උදුරා ගන්නට ගියත් එය පහසු නොදුනි.

“තමුසෙලා දෙන්නවම මම මරනවා…”

“මරන්න කලින් මටත් තියනවා ගොඩක් දේවල් බේරගන්න. මොකද මම තමුසෙව අත ඇරියේ නිකම්මනේ. බලනවා මේ විඩියෝ එක ලෝකේ වටේ යනවා. තමුසේ කීදෙනෙක්ගේ ඇස් ඉස්සරහ බඩුවක්ම වෙලාද?”

ඔහු එලෙස පවසා ඇය වෙත ලංවෙද්දි ලවන්යා ඔහුවත් තල්ලු කරගෙන පාරට දිව ගියේ පිස්සියක මෙනි. නතර කර තිබු බසයකට නැග ගත් ඇය කොනේම වු හිස් අසුනක ගුලි වුයේ ගැහෙමිනි. ඇය බසයට නගින මිනිසුන් දෙස බැලුවේ හොරෙන් බියෙනි. මේ සියලු දෙනා එය නරඹන්නට ඇත. දෙවියනේ… මගේ අහිංසක තාත්තා. ඇය වෙව්ලා ගියාය.

ෆෝනය එක දිගටම නාද වන්නට වුයේ එවිටය. ඇය වෙව්ලන අතින් බෑගයෙන් ෆෝනය ඇද ගත්තාය.

“නංගි දෙයියනේ ඔයා කොහෙද? මේ… විඩියෝ එක.. “

පාරමි කලබලයෙන් කෑගසද්දි ඇය මහ හඬින් හැඩුවාය. තමා සිටින්නේ බසයේ බවද අමතකව ගොස් ඇය හඬන්නට විය.

“නංගි… කියන්න ඉන්න තැනක්. මම එන්න ඔයාව ගන්න. කලබල වෙන්න එපා. ඔයාව කාට නැතත් අපිට වටිනවා පැටියෝ.”

පාරමිගේ වදන්වල වු බිය, සෙනෙහස ඇයට දරා ගත නොහැකි විය.

“අක්කේ තාත්තා… අනේ තාත්තා…”

“අහන්න මැණික. තාත්තා ගැන බයවෙන්න එපා. එයා හුඟක් ශක්තිමත් කෙනෙක් තේරුනාද? අපිට වටින්නේ ඔයාව. කොහෙද ඉන්නේ කියන්න.”

එහෙත් වදනයක් වත් නොපවසාම ඇය ෆෝනය ක්‍රියා විරහිත කර බෑගයට ඔබා ගත්තාය. යන්තට තැනක් සිතා ගත නොහැක. බසය ඔහේ ඇදීයයි. ඇයට තාත්තාගේ ආදර බර මුහුණ මැවි පෙනුනි. මේ කිසිවක් ඔහුට දරා ගන්නට නොහැකි වනු ඇත. තව දුරටත් සටන් කරන්නට තමන්ට නොහැකි බව දැනුනත් මැරෙන අවසන් මොහොතේදි හෝ සදේෂ්ව අත් හැර දමන්නට ඇයට නොහිතුනි. ඇය කොළ කැබැල්ලක කුඩා ලිපියක් ලීවාය. ඒ තම සියදිවි නසා ගැනිමට හේත්ව සදේෂ් බව සදහන් කරමින්ය.

“මට මගේ තාත්තාට මුණ දෙන්න බෑ. තවත් ජිවත් වෙන්න දිරියකුත් නැ. ඒත් සදේෂ් මම මැරුනා කියලා උඹට ගැලවෙන්න දෙන්නෙත් නැ.”

ඇය හඬමින්ම මුමුණා ගත්තාය. මළ හිරු බසින විට ඇය දෙහිවලට ආසන්නේ වෙරළින් බැස ගත්තාය. රළ හැපෙන ගල් තලාවට වී මොහොතක් කෙමෙන් කෙමෙන් හිරු ගිල ගන්නා මහ සයුර දෙස බලා සිටියාය. ලෝකයක් තම ආත්ම ගරුත්වය තලු මරමින් රසවිදිද්දි තවත් අයෙක් තමාට බැන වදිනා බව ඇය දනී. මේ ලොව හැම දෙයක් දෙසම විවෘත නෙතින් බලා හරිවැරැද්ද වටහා ගන්නා පිරිස අතලොස්සකි. අනුකම්පාව වෙනුවට ලොව ඇත්තේ අපහාසය, වැටුන එකාව තවත් පාගමින් පසටම යට කිරිමකි.

ලවන්යා මොහොතක් ෆෝනයේ වු පවුලේ ඡායාරුව දෙස බලා සිටියේ ඉකිගසා හඬමින්ය.

“සමාවෙන්න තාත්තා මේ හිතුවක්කාරිට.”

ඇය එලෙස පවසා ෆෝනයත් බෑගයත් ඇගේ පාවහන් යුගලත් ගලක් මත තබා සීතල රල ගසන වතුරට බැස ගත්තාය. අදුර දසතින් වසාගද්සි මුහුදු සුළග දැඩි වෙද්දි රල උස්ව නැගෙද්දි ඇය හිරු සොරා ගත් සිතිජය සොයා සාගරය වෙත පියවර තැබුවාය.

“කෙල්ලෙක් නේද මචං අර…”

විවාන් නිවාඩුව සදහා කොළඹ පැමිණ තම හොඳම මිතුරා හමුවට ආවේ හිතේ දහසකුත් ප්රශ්ණ ඔහු හා කියා හිත සනසා ගන්නට සිතාගෙනය. වෙරලේ ගල්පරයක ඉද කියවමින් සිටි විවාන්ට රාත්රිය උදාවනවාවත් නොදැනුනි. නැගණියගේ සැත්කමට අවශ්‍ය මුදල සොයා ගැනිම සිතා ගත නොහැකි තැන  ඔහු දැඩිව අසරණව සිටියේය. ඔහු රැකියාව කරන ස්ථානයෙන් ඉල්ලු ණය මුදලද සිතූ ප්‍රමාණයට වඩා හරි අඩක් දිමට නියම වෙද්දි විවාන් සිටියේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය.  එහෙත් එකවරම ඔවුන්ට මඳක් ඈතින් පාලු මුහුද පෙන්වා යසිත් කෑගසද්දි විවාන් වහා එදෙසට නෙත යැව්වාය.

“ඔව් මචං.. සුයිසයිඩි කරගන්නද යන්නේ.”

විවාන් මදක් ඇතින් පෙනෙන රුව දෙස කලබලයෙන් බලා නැගිටමින් පවසද්දි යසිත්ද ඔහු අනුවම නැගිට ගල්පරයෙන් පැන්නේ එක විටය.

“ඒ වගේ….”

“ඔහ් නෝ…”

විවාන් දෙවරක් නොසිතා එදෙසට දිව යද්දිම විශාල රලක් ඇයව වසාගනු දුටුවේය..

මතු සම්බන්ධයි.

චේතන ද සිල්වා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *