ලිප සහ රුව

ලිප සහ රුව

   වෙනස්ම මාතෘකාවක් නේද ? ජීවන චක්‍රයේ දී අපේ තරුණ පෙනුම කියන එක කොයි තරම් කාලයක් ස්ථාවරව රදා පවතී ද ? ඔබ මොකද හිතන්නේ ඒ ගැන?   අපි හිතල බලමු  අපි අවුරුදු කීයක් කුඩා වයසේ ඉදලා තරුණ වයස වෙනකම් කාලයක් වැඩෙනවා ද?  ඒ කියන්නේ අපේ  ශරීරය  අවුරුදු 18 පමණ වර්ධක අවස්ථාවේ ගත කරනවා. ඉන් පස්සේ ඒ කියන්නේ අවුරුදු 25 න්  පස්සේ අපේ පෙනුම හෙමින් හෙමින් මහළු වෙන්න පටන් ගන්නවා.  එහෙනම් මේ තරුණ පෙනුම කියන එක ස්ථාවරව රඳා පවතින කාලය අවුරුදු කීයද…??? 

          උපරිම වශයෙන් තිබුණොත් හිත හදා ගන්නත් එක්ක  අවුරුදු දහයක් කියමුකො  අවුරුදු 18 වෙනකල් වැඩෙන අපි 25 පස්සේ වයසට යනවා නම් ඒ තරුණ කාලේ පැවැත්ම  කොයි තරම් කෙටි ද?එහෙනම් සාත්තු කළේ නැත්නම්, හොඳින් බලා කියා ගත්තෙ නැත්නම්, ඒ පෙනුම වැඩි කාලයක්  රැකේවි ද ?

         කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුනා  දර ලිප ගාව වැඩි වෙලා රැඳෙන එක රූපයට හානි වෙනවා ද නැද්ද කියලා. ඔව් දර ලිප විතරක් නෙමෙයි, ඇඟට රස්නෙ වදින ඕනම ලිපක් එක්ක වැඩි වෙලා ගත කරද්දි රූපයට හානි වෙන්න පුළුවන් සහ වෙනවා.  මේ ගැනමම මොකුත් කියනවට වැඩිය ලේසියි සංසන්දනය කරන එක. දර ලිප ගාව වැඩි වෙලා ගතකරමින් උයන ගෘහණියක් සහ එහෙම ගත නො කරන කෙනකුගේ පෙනුම අතර වෙනස බැලුවොත් ඒක හොඳටම තේරේවි.

           මම ඒ වෙනස දැකලා තියනවා.  ඕනම ලිපක් ගාව ඕනවට වැඩිය රැඳෙන අයගෙ  සම ඒ රස්නෙට ඔරොත්තු දෙන්න රළු වෙනවා. සමක්  රළු වෙන්න රළු වෙන්න හැම විටම අවපැහැ වෙනවා. අධික රස්නයේ වැඩි වෙලා ඉන්නකොට  සමට වෙන හානිය සෑහෙන්න ප්‍රබලයි.

            මගේ අම්මා  දර ලිපේ උයපු කෙනෙක්. ඒත් අද ඇය දර ලිප පාවිච්චි කරන්නේ කලාතුරකින්. උයන්නත්  ඉස්සර තරම් කාලයක් කැප කරන්නේ නැහැ. අම්මගේ ඉස්සර පෙනුමට වඩා අද පෙනුම ලස්සනයි. පැහැපත්.  කෑම කඩ කරන දර ලිපත් එක්ක හැප්පෙන අය මම අඳුනනවා. එයාලා ලස්සනට ඉන්න ආස උනත් ඒ  ජීවන චර්යාවන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතිං ඔබේ සැමියා  ඔබව හඳුනා ගත් කාලයේ දී තිබුන පෙනුම එන්න එන්න නැති වෙද්දී අඩු වෙන්නෙ ඔබ කෙරෙහි වන ආකර්ෂණයයි.

             ලස්සන දේවල් වලට කාගෙත් හිත ඇහැ දෙකම ඇදිලා යනවා. අනිත් අයට දොස් කියනවාට වඩා හොඳයි තමන්ගේ පෙනුමට නරකට බලපාන පුරුදුවලින් පුලුවන් තරම් ඈත් වීම. උයන්න ගත කරන කාලය අඩු කිරීම. රස්නෙ මුහුණට ඇඟට වදින්නේ නැති ලිපක් පාවිච්චි කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන් . ඒ වගේම  පිරිසිදුකම ඉතාම වැදගත්. උයලා ඉවර වුණ හැටියෙම ඉතා හොඳින් ඇඟ පිරිසිදු කර ගන්න ඕනේ නාන එක තමයි සුදුසුම. හොඳ බොඩි ක්‍රීම්  එකක් ආලේප කළ යුතුමයි.  ඒ වගේම හොඳට වතුර බොන්න.  රූපලාවණ්‍යගාර වලින් සත්කාර කරගන්න.

             කුස්සියෙන් එලියට ආවට පස්සෙ බලන්න ඔබ සාලයට, පාරට, සමාජයට, සුදුසු ද කියලා.සාලයේදීත් කුස්ස‍යෙ පෙනුමට ඉන්න එපා. සමහර කාන්තාවෝ ඉන්නවා කුස්සියෙන් තොර ලෝකයක් නැති.  හැබැයි ඒ අයට තමන්ව අහිමි වෙලා. කුස්සිය,  එහෙමත් නැත්නම් මේ ඉවිල්ල  ඔයාගෙ ජීවිතේ නෙමේ. ජීවිතයේ විඳින්න තියෙන දේවල් එක්ක කෑම හදනවා කියන කාරණාව  බොහොම සුළු දෙයක්. ඒ වෙනුවෙන් ජීවිතය දියකර හරින්න අවශ්‍ය නැහැ.

             අපි කෑම කන්නේ ලස්සනට ජීවත් වෙන්න, නිරෝගීව ජීවත් වෙන්න. ඉතින් ඒ කෑම හදන්න ගිහිල්ලා අපේ පෙනුම අපට අහිමි වෙනවා නම්,  අපේ ජීවිතය විඳින එක අපිට අහිමි වෙනවා නම්,  මහත්තයගෙ ආකර්ෂණය අහිමි වෙනවා නම්, එකේ තේරුමක් තියනවද ?

           දර ලිපක් ලඟ ගොඩක් වෙලා ඉන්න කෙනෙක්ට ඒ රස්නෙට ඔරොත්තු දෙන්න හම සැකසෙනවා . ඉන්පස්සේ ඒ තත්ත්වයෙන් මිදෙන්න ඕන වුණත් ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා එතකොට අපේ  වයස ගෙවිලා ඉවරයි.

             ඉන් පස්සේ තමයි දරුවන්ට, මහත්තයට දොස් කියන්නේ වෙන්නේ ඕගොල්ලෝ නිසා තමයි මගේ තරුණ කාලේ නිකම්ම දිය උනේ කියලා.  ඉතින් මේ ඔයාලට හිතන්නට යමක් .

මම සුරේඛා පෙරේරා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *