ලියාරා කෙටි කතා තරගය – ජයග්‍රාහී කෙටි කතාව

ලියාරා කෙටි කතා තරගය – ජයග්‍රාහී කෙටි කතාව

මුද්ද

ඇහැළ මල් කොමළියන් තරඟෙට මෙන් අතු අග්ගිස්සෙන් බිමට බහිමින් ගුරු පාර පුරා පලසක් ඇතිරීමේ කඩිමුඩි රාජකාරියේ නිරත විය.උසස් පෙළ අමතර පන්ති බලා යාමට මඟට පිවිසි සෙතුලිගේ හිසට සීරුවෙන් බට මල් පොඩිත්තිය ඇයට සුබ දවසක් පැතුවාය.

මහ පාරට සපැමිණි ඇය වේගයෙන් ඇඳෙන බසයට අත දැමීය.කන කීරි ගැහෙන හඬින් තිරිංඟලූ බසය සෑහෙන ඉදිරියට ගොස් නතර කරලූයේ , සෙතුලිට උදෑසනම ගම හරහා දිවීමට ඉඩ හසර ලබා දෙමිනි.

බස් ටිකටය ගෙන පසුම්බියේ ඉතුරු මුදල් ඇය ගණින්නට වූයේ, හවසට යමක් ගැනීමට මුදල් ප්‍රමාණවත්දැයි සැක හැර දැනගැනීමටය.බසයෙන් බට ඇය ලැසි ගමනින් පන්තිය කරා ඇදුණි.

” මොකෝ පරක්කු, හවසට යමුද ශොපින් පාරක් ?”

පිළිතුරකට ඉඩක් නොතබාම ප්‍රශ්ණ පත්තරයක් ඇගේ දෙපතුල් මත හෙලූ ඈ නමින් විහංගාව.

” අද බෑ.හවසට ගමනක් තියෙනවා” සෙතුලි වහා පිළිවඳන් දුනි.

” හරි..අපි දන්නවා.ඔයාගේ වැලන්ටයින් බලන්නනේ” විහංගාට එක් වූ රනුදි කොක් හඬලා සිනාසෙමින් පැවසීය.

” ඔන්න සර් එනවා “

සියල්ලෝ අසුන් කරා විසිර ගියහ.

පන්තිය නිමවීමෙන් අනතුරුව,

” මොනාද අද වැලන්ටයින්ට ගෙනියන්නේ?”

පැනය රනුදිගෙනි.

” එච්චර සල්ලියක් නෑ, චොක්ලට් එකක්වත් ගන්නවා.යන්නම්. “

සෙතුලි ඇසුරු සැණින් නික්මුණි.

~~~~~~~~~~~~~

නළලත වැදුන කියඹුලතාවන් හා මුසු වූ දහඩිය අතින් පිසලමින් සෙතුලි ගෙට ගොඩ විය.

” මොකෝ මේ හති දාගෙන” හේමාලි විමසීය.

” ක්ලාස් ඇරෙන්න පරක්කු වුණා අම්මේ.බස් එකට දුවන් ආවේ”

මවගේ දෙනෙත මඟ හරිමින් ඇය පැවසීය.

” වොෂ් එකක් දාගෙන තේ බොන්නකෝ” අම්මා ආප්ප මිශ්‍රණය අනන්නට වීය.

සැරයටියෙන් අපි යනෙන තුරා,සංසාරේ අපි එකට ඉමු …

ගුවන්විදුලියේ හඬ වාතලය සිසාරා පැතිරුණි.කුස්සියේ ජනෙල් අස්සෙන් හොරෙන් රිංඟාවිත් තෙතුලිගේ කාමරට එබිකම් කළ කෑම සුවඳ ඇගේ බඩගින්න දෙගුණ කරලීය.හොරගල් අහුලමින් ඇය කුස්සියට ඇදුණි.

” මොකෝ වේලාසනම බඩගිනියි ද ” අම්මා සිනාසෙමින් විමසීය.

“අම්මේ…ලබන සතියේ ක්ලාස් එකේ යාළුවෙක්ගේ උපන්දිනයක් “

“කවුද යාළුවා?” අම්මා ලේසියෙන් තැම්බීමට බැරිබව දන්නා ඇය පිටියට පැමිණියේ ආයුධ සන්නද්ධව ය.

” මයුමි.අන්න එයා “

” එයා හොඳම යාළුවෙක් නෙමෙයිනේ ” අම්මා පැවසූවේ ප්‍රතිවාදියා දවා හළු කරන බැල්මක් හෙලමිනි.

” අනිත් අයත් ගිෆ්ට් දෙනවානේ ” ඇසෙන නෑසෙන ගාණට ඇය අවසන් තුරුම්පුවත් දමා ගැසීය.

“කීයක්ද ඕන”

“500ක්වත් ඕන අම්මේ”

” තාත්තාගෙන් ඉල්ලලා දෙන්නම්. “

ඇය මිටින් හළ කිරිල්ලියක සේ කාමරයට ඉගිලුණි.

රෑ බෝ වී සේපාල ගෙට ගොඩ වුයේ සෝපාව මතට වැටෙන්න බලාගෙනය.

” අද රෑ වෙලා ? “හේමාලි විමසූයේ තේ එකක් අතට දෙමිනි.

” මාර ට්‍රැෆික් අප්පා.වැලන්ටයින් තෑගි කඩ දාලා පාර අයිනේ දිගටම.කජු කිරි පොඩිවුන් ඒවාගේ පොරකනවා.රටකට ගිය කලක්.”

හේමාලිගේ යටි සිතේ විදුලියක් කෙටූ අතර ඇය නිහඬවම කුස්සියට ඇඳුණි.

~~~~~~~~~~~~~

“මේ ඇහුණාද ” ඒ හේමාලිගේ හඬය.

නින්දත් නොනිදත් අතර සිටි සේපාල ඇස් හරිමින්

” ඇයි මොකෝ ? “

” දෝණි යාළුවෙක්ගේ උපන්දිනයක් කියලා 500ක් ඉල්ලුවා.ඔයා කිව්වාම වැලන්ටයින් කියලාත් මතක් වුණේ”

“ඒකත් එහෙමද,කලබල නොකර සල්ලි දෙන්නකෝ.කෝකටත් නිවාඩුවක් දාලා පන්ති වෙලාවට මම එදාට යන්නම් “

” කවදාවත් බොරුවක් නොකරන දරුවා.වයසේ වැරැද්දනේ.” හේමාලි සුසුමක් හෙලීය.

” තේ කෝප්පේ කිඹුල්ලු දකින්න එපා හේමා.අපි බලමුකෝ”

~~~~~~~~~~~~~

පාසල නිම වූ පසු යෙහෙලියන් දෙදෙනා ඇඳගෙන කොහොඹ ගස් සෙවනට සෙතුලි දිව්වේ සයකන් මන්ත්‍රණයකට සූදානම්ව ය.

“අනේ රනුදි.මට ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා ගෙනත් ඕන ටවුමෙන්”

” වැලන්ටයින්ට ද ?”

“ඔව්.මම මයුමිගේ උපන්දිනේ කියලා අමාරුවෙන් සල්ලි ඉල්ලගත්තේ “

බොරු කීම පිළිබඳව පශ්චාත් හැඟීමෙන් සෙතුලි මිමිණීය.

” හරි.මම ක්ලාස් එකටම එදාට අරන් එන්නම්” රනුදි ඇය අස්වසමින් තෙපලීය.

” ලොකු උදව්වක් කෙල්ලේ” ඇය නිවස බලා ගියේ මහත් සැහැල්ලුවෙනි.

~~~~~~~~~~~

පෙබරවාරි 14

අමතර පන්තිය නිමවීමෙන් අනතුරුව අඩියට දෙකට එළියට බට සෙතුලි මල් කඩයකින් රතු රෝසමලක් ද ගෙන වහා බසයට නැංඟේ ඇය පිටුපස ඇඳෙන නෙත් සඟල පිළබඳව හාන්කවිසියක්වත් නොදැනය.

තිරිංඟ ගසා නැවැත්වූ බසයෙන් බැස සෙතුලි ගේට්ටුවක් තුළින් ඇතුළට පිවිසෙනු දුටු සේපාලගේ දෙපා පණ නැතිවිය.

අළු ගැසුණු දෑසක් දෙනෙත් දල්වා සිට ” මැටිල්ඩා එනවා ” කියමින් හඬ තලනු ඇයට ඇසුණි.දැල් ගසා ආවරණය කොට ඇති ඉදිරි දොරටුවට හැඳුනුම්පත ලබාදී ඇය ඇතුළට පිවිසුණි.

” අද උදේ ඉදන් මැටිල්ඩා නෑ කියාගෙනම ඉන්නේ ” සිනාමුසුව පැවසූ පාලිකාව ඔවුන් දෙදෙනාට ඉඩ දී මෑත් විය.

” ඔන්න මම ස්පෙශල් ගිෆ්ට් එකක් අරන් ආවා” සෙතුලි රතු රෝස මල හා රාමු කළ සේයාරුවක් රැළි ගැසුණ දෑතක් මතින් තැබීය.

රාමුවක් තුළ සිනාමුසුව සිටිනා යුවලගෙන් ගැහැණු රූපය වෙවුලන දෑතකින් පිරිමදින්නට වීය.

” මැටිල්ඩා ඉස්සරත් මට ඇනිවසරි එකට මල් දෙනවා.මතකද අපි එදාට කොහේහරි ඇවිදින්න යනවා ” අපහසුවෙන් වචන ගැටගසමින් ඔහු පැවසීය.

” දැන් කොහේ යන්නද? තරහාද මා එක්ක ?”සෙතුලිගේ දෑත් පිරිමඳිමින් පසුතැවීම මුසු හඬකින් විමසීම.

” අයියෝ නෑ” සෙතුලි සිනාසීය.

” මට පාළුයි මැටිල්ඩා.නවතිනවාද මා එක්ක ” බලාපොරොත්තු දැල් වූ හඬකින් විමසීය.

” වෙන දවසක එන්නම්.අද මම යන්න ඕනි නේ” ඇය නැගිට්ටාය.

” මොනාද මම මැටිල්ඩාට දෙන්නේ?අද අපේ ඇනිවසරි එකනේ.”

ආදරවන්තයින්ගේ දිනයක් ගැන නොදන්නා ඔහු ඔළුව කසමින් කල්පනා කළේය.

රෝද පුටුවෙන් කාමරයේ ඇඳ අසලට ගොස් බෑගයක් අවුස්සා දූවිලි වැකුණ පෙට්ටියක් ගෙනත් සෙතුලි අත තැබීය.ඒ තුළ වූයේ හදවතක හැඩැති රතු ගලක් මැදි කළ රිදී මුද්දකි.

ඉස්සර රෑට නින්ද යනතුරු ඔළුව අතගානා ආත්තම්මාගේ වෙදැඟිල්ල සැරසූ මුදුව ඇයට හොඳට මතකය.

පාලිකාව හා එක්ව සීයා ඇඳේ සැතපවූ සෙතුලි නළලත හාදුවක් තබා පිටත්වූයේ, හෙට හිරු එළිය සීයා නොදකින බව නොදැනය.නැවත හැරී බලන ඇයට ජනෙල් කවුළු තුළින් දර්ශනය වූයේ, සදාතනික ආදරයේ සිහිවටනය ළමැඳට තුරුල් කරන් නිදන සීයාය.

මානසික ආබාධ සහිත පුද්ගලයින්ගේ පෞද්ගලික සාත්තු නිවාසයෙන් එළියට පිවිසි සෙතුලිව බොඳවුනු දෑසක දර්ශන පථයට හසුවිය.

~~~~~~~~~~~~~~

වසර 6කට පසු

_________________

නිවසේ සෝපාව මත හරිබැරි ගැසුණ සයුල්,

“හෙට යමු එන්ගේජ්මන්ට් රින්ග්ස් ගන්න.”

” පොඩ්ඩක් ඉන්නකෝ”

අසල පුටුවක සිටි පියා දෙස බලමින් පිටවූ ඇය පැමිණියේ පෙට්ටියක් අතැතිවය.

” මට එදාට මේක දාන්නකෝ”

කුහුලින් පෙට්ටියට එඹුන සයුල්,

” අපෝ මේක පරණ මුද්දක් නේ” යැයි කියමින් මුහුණ පුළුටු කරගත්තේය.

” බලන්න මේ රතු ගල අල්ලලා තියෙන්නේ වටරවුම පළුදු නොවෙන්න උඩින්.ඒ වගේම මේ මුද්ද අයිති අයගේ ආදරයටත් ඉමක් කොණක් තිබුණේ නෑ.අපි මේක සුද්ද කරලා ගමු සයුල්… “

පියානෝව උඩ රාමුවක් තුළ සිරවුන යුවලක් තම පුතුගේ දෑසින් වැඟිරෙන කදුළු දෙස සිනාමුසුව බලා සිටිනු දැකිය හැකි විය.

~~~~~~~~~~~

ඔෂදිනි රුවන්තිකා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *