සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ තෙළෙස් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ තෙළෙස් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

 සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ තෙළෙස් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

13. ඔහු විසින් අත්හැර දමනු ලැබූ ගැහැණිය බවට පත් නොවන්න.

වසර දහහතරකට පෙර විවාහ දිවියට එළඹෙන විට සුමාලි ලැජ්ජාශීලි, කුලෑටි යුවතියකි.

ඇයගේ වචනවලින් ම කිව හොත්, “මහජනයා ගැවසෙන රැස්වීම්වලට යනකොට, සෙනග අතර ගැවසෙන කොට මට මහා බයක් දැනුණා. මම සබකෝලයෙන් පිරුණු කෙනෙක්.”

සුමාලිගේ සැමියා සුදත්ත, යහපත් අනාගතයක් ඇතැයි මතු බලාපොරොතු තැබිය හැකි දක්‍ෂ නීතිඥයෙකු විය. ඔහු ප්‍රාදේශීය දේශපාලන කටයුතු පිළිබඳව ද උනන්දුවක් දැක්වූවෙකි.

ඔහුගේ දිනචරියාවේ වැදගත් ම අංග වූයේ මහජනතාව හමු වීම, රැස්වීම්, සමුළු හා උත්සවවලට සහභාගී වීම ආදිය යි. නොයෙකුත් මාදිලියේ අමුත්තන් නිවසට පිළිගෙන සංග්‍රහ සත්කාර කිරීම ඔහු නිරතුරුව කළ දෙයකි.

 එය තේරුම් ගත් විට සුමාලිගේ පළමු සිතිවිල්ල වූයේ “හපොයි මං කරගත්තු ගොන් කමක්!” යන්න යි. සැමියාගේ වැඩ කටයුතුවලට සහාය වීමේ භූමිකාව ඉටු කිරීම සඳහා තම සබකෝලය මැඩ පවත්වාගන්නේ කෙසේ ද? “මට නම් මේක කරන්න බෑ,” ඇය සිතුවා ය.

ඇය මේ පිළිබඳව මානසික පීඩනයෙන් යුතුව සිටින සමයේ එක් දිනක, ඇය සඟරාවක මෙම වැකි කිහිපය දුටුවාය.

“ මිනිස්සු සාමාන්‍යයෙන් තමා ගැන බොහෝ උනන්දු වෙති. එබැවින්  පිළිසඳරේ දී අනෙකා ගැන අවධානය යොමුකරන්න. අනෙකාට තමා ගැන, තම ගැටළු ගැන තම ජයග්‍රහණ ගැන කතා කිරීමට අවකාශය ලබා දෙන්න. ඔහු ගැන අවධානය යොමු කිරීමෙන් ඔබට ඔබ ගැන අමතක කළ හැකි යි.”

මේ වැකි කිහිපය සුමාලිගේ ජීවිතය නොසිතූ අයුරින් වෙනස් කළේ ය.

එම අවවාද පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ඇය නැඹුරු වූවා ය. එය සාර්ථක විය!

පසු දෙනෙක, සුමාලි ඇගේ කතාව මා සමග පැවසුවේ මෙසේ ය.

“පොඩ්ඩෙන් පොඩ්ඩ මම පිළිසඳරේ යෙදෙන්න පුරුදු වුණා. මට තේරුණා, මට විතරක් නෙවෙයි හැමෝටම නොයෙක් විදියේ ප්‍රශ්න හා අමාරුකම් තියෙන බව. එයාලව තේරුම් ගන්න කොට එයාලට වැඩිපුර කිට්ටු වෙන්න මට පුළුවන් වුණා. පස්සෙ පස්සේ අලුත් යාළුවන් ඇතිකර ගන්න එක මට පහසු වුණා. දැන් මට කිසි අපහසුවක් දැනෙන්නේ නැහැ. දැන් මම අපේ ගෙදරට අමුත්තන් එනවට කැමතියි. සුදත්ත එක්ක උත්සවවලට යන්නත් මම ආසයි. දැන් එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.”

“ඔක්කොටම වඩා මට සතුටුයි, එයා වෙනුවෙන් හැසිරෙන්න ඕන විදිය තේරුම් නොගෙන මම එයාව අපහසුවට පත් කළේ නැති එක ගැන.”

තම සැමියාගේ සමාජමය වගකීම් වටහාගෙන ඒ අනුව හැසිරීමට පුරුදු වීම සෑම බිරිඳක ගේ වග කීම යි. සැමියාගේ රැකියාව හා තරාතිරම කුමක් වූවත් ඔහුගේ දියුණුව ට ඇති අවස්ථාවන් බිරිඳගේ සමාජ සම්බන්ධතා හැකියාවන් හා හැසිරීම් අනුව වැඩි දියුණු වේ.

එම හැකියාව ස්වභාවයෙන් ම ඔබට ලැබී ඇත්නම් එය ආශිර්වාදයකි. එසේ නොවේ නම් සුමාලි කළාක් මෙන් එය උපදවා ගැනීම කළ යුතුව ඇත.

ඔබේ සැමියා වෙළඳ ව්‍යාපාරිකයෙකු යයි සිතන්න. “හාපෝ අර මුදලාලි හාමිනේ ගේ මූනේ කිසි සිරියාවක් නෑ. ඒ කඩේට යන්නවත් හිතෙන්නෙ නෑ,” යයි පාරිභෝගිකයෙකු සිතයි නම් ඒ කාගේ වරද ද?

“අපේ බොස් නම් හොඳ මනුස්සයා. ඒත් නෝනා ඒ බොස් පාට් අපට දාන්න එනකොට තමයි එපා වෙන්නේ,” මගේ රැකියා ජීවිතයේ දී නිතර අසන්නට ලැබුණා මට මතක ය.

අපේ රටේ සිටි සමහර ජනාධිපති බිරින්දෑවරුන් ගැන සමාජයේ පවතින සමහර කතිකාවන් ද ඔබේ සවන් වැකී ඇතුවා නිසැක ය.

ඔබේ සැමියා එවන් අසීරු අවස්ථාවනට පත් නොකර ඔහු ට සවියක් වන්නට අද ම සපථ කරගන්න.

මානෙල් විජිතා ප්‍රනාන්දු

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *