සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ දොළොස් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න  (ලිපි පෙළේ දොළොස් වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි.

 12 . ඔබේ වෘත්තීය ඔහුගේ හා ඔබේ පවුලේ අභිරුචීන් සමග ගැටේ ද?

ඔබ වෘත්තීයවේදිනියක් ද?

ඔබේ පවුලේ පැවැත්ම හෝ ඔබේ සැමියාගේ දියුණුව උදෙසා ඔබේ වෘත්තිය කැප කරන්නට සිදුවන දවසක් උදා වුවහොත් ඔබ එයට සූදානම් ද?

පවත්නා තත්ත්වයන් යටතේ නිවසින් පිටත රැකියාවේ දීමට සිදුව ඇති කාන්තාවන්හට මම ගරු කරමි. සෑම කාන්තාවකටම තම ජීවිකාව උපයාගැනීමේ හැකියාවක් ලබා තිබීමේ වැදගත්කමක් ඇති බව ද තරයේ අදහමි. ජීවිතය අවිනිශ්චිතය. රෝගාබාධ, මරණය, විරැකියාව හෝ විපත් නිසා අපගේ ජීවන සැලසුම්  අවුල් වී යන අවස්ථා උදා වීමට ඉඩ තිබේ. සමහරවිට ඔබට යම් කාලයක තම පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා බවට පත්වීමට සිදු විය හැකි ය.

නමුත් යම් අවස්ථාවක ඔබට ඔහු වෙනුවෙන් හෝ පවුල වෙනුවෙන් ඔබේ වෘත්තියට සීමා පනවා ගැනීමට හෝ උසස්වීම් මගහැරීමට සිදු වන අවස්ථා උදා විය හැකි යි.

එවන් අවස්ථාවක ඔබ තෝරාගන්නේ කුමක් ද?

ඔබට පහත කරුණු සලකා බැලිය හැකිය.

  1. ඉදිරි වසර 10 ඇතුළත ඔබේ පවුලේ ඉදිරි ගමන හා ඔබේ රැකියාවේ ඉදිරි ගමන පිළිබඳව සැලසුම් අතර යම් ගැටීමක් වේ ද?
  2. ඔබේ සහ ඔබේ පවුලේ ප්‍රමුඛතා මොනවාද? ඒවා එකිනෙක ගලපා ගැනීමට ඔබට හැකි ද?
  3. රැකියාවේ වගකීම් හා පවුලේ වගකීම් පැහැර නොහරිමින් තුලනාත්මකව කටයුතු කළ හැකි බවට ඔබට විශ්වාසය තිබේ ද? ඒ පිළිබඳ ඔබේ සැලසුම් මොනවාද? රැකියා ආයතනයෙන් ඒ සඳහා ඔබට ලැබෙන සහය කුමන පරිදි ද?
  4. ඔබට ඔබේ පවුලේ කටයුතු සඳහා දෙමාපිය හෝ වෙනත් විශ්වාසනීය සහාය (දරුවන් රැක බලා ගැනීමේ ආයතන වැනි) ලබා ගත හැකි ද?
  5. ඔබගේ ආතතිය පාලනය කර ගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය කෙතරම් ද?

ඉහත කරුණු අනුව ඔබේ රැකියාව ඔබේ ජීවිතයේ වැදගත් ම දෙය ද? යන්න ගැන ඔබට තීරණයකට එළඹිය හැකි වනු ඇත.

අපි, එක් දහස් නමසිය හතළිස් ගණන්වල සාර්ථක ගුවන්විදුලි වැඩසටහන් අධ්‍යක්‍ෂවරියක් වූ රූමත් සෙටා වෙල්ස් ගේ කතාව කියවා බලමු.

රැකියාවේ කටයුත්තක දී හමු වූ ප්‍රසිද්ධ ගවේශකයෙකු වූ කාවත් වෙල්ස් සමග ආදරයෙන් බැඳුණු ඇය ඔහු හා විවාපත් වූයේ තමාට තම රැකියාවේ සුපුරුදු පරිදි නියැලීමට අවකාශ ලැබිය යුතුය යන කොන්දේසිය ඔහුට ඉදිරිපත් කරමිනි. ඇය තම උද්යෝගිමත් රැකියාවට මෙන් ම පුද්ගලික නිදහසට ද බෙහෙවින් ඇලුම් කළා ය.

විවාහය සිදු වූයේ මාර්තු මාසයේ දී ය. ජූනි මාසයේ දී  කාවත් වෙල්ස්, අරරට් කන්ද නැගීම පිණිස රුසියාව හා තුර්කිය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. සෙටාගේ සැලසුම වූයේ ගෙදර නැවතී තම රැකියාවේ යෙදීම යි. නමුත් දිනය ළඟා වනවිට ඇයට නිවසේ හුදකලා වීමට හිත හදාගත නොහැකි විය. “මේ පාර විතරමයි”, කියා සිතමින් ඔහු හා ගමනට එක් වූ ඇය නපුරු සිහිනයක් බඳු වූ යාත්‍රා ගමනක අභියෝගයට මුහුණ දුන්නා ය.

නිවාඩුවෙන් පසු නැවත තම රැකියාවේ නිරත වෙද්දී ඇයට සිතුනේ කාවත් හා සමග සිදුකළ ගවේෂණාත්මක සංචාරයේ දී විඳි අභියෝගාත්මක අත්දැකීම් හමු වේ තම රැකියා කටයුතු කොතරම් නිස්සාර හා නීරස ද යනුවෙනි. වසර එකහමාරකට පසුව ඇය ඔහු සමග මෙක්සිකෝවට ගියේ පොපොකටප්ටල් කන්ද තරණය කිරීම සඳහා ය. මෙවර ද එය පහසු ගමනක් නොවීය. බොහෝ වෙලාවට ඔවුන් බඩගින්නෙන්, සීතලෙන්, විඩාවෙන් පමණක් නොව භීතියෙන් ද පීඩාවට පත් විය. නමුත් ඇය ඉන් විඳි ආශ්වාදය එම සියලු පීඩාවන් යටපත් කරමින් ඉස්මතු විය.

කඳු මුදුන්වල සුළඟ විසින් ඇය දිවිහිමියෙන් සුරැකි පෞද්ගලික නිදහස පිළිබඳ අන්තිම සිතුවිල්ල ද රැගෙන ගොස් තිබිණි. ඔහුගේ සහයට ඔහු ළඟින් සිටීම තම රැකියාවෙන් ලබන සියලු ජයග්‍රහණ අභිභවා යතැයි ඇයට පසක් විණ. මෙක්සිකෝ සවාරියෙන් ආපසු පැමිණි ඇය තම කාර්යාලය වසා දැමුවා ය. ලෝකාන්තය තෙක් තම සැමියා අනුව යාම සඳහා ඇය අන් සියලු කටයුතුවලින් නිදහස් වූවා ය. මලයාවේ වනාන්තර, අප්‍රිකාව, ජපානය, අයිස්ලන්තය, කාශ්මීරය යන ස්ථානවල ගත වූ වෙල්ස් යුවළගේ දිවිය, වර්ණවත් සංචාරක වැනුමක් විය.

ඇය තම ජීවිතය ගැන ආවර්ජනය කරමින් කීවේ, “ මගේ වෘත්තිමය ජීවිතය අගය කරමින් ආඩම්බරයෙන් ගතකළ කාලය ගැන හැරී බලන විට මට හිතෙන්නේ මම කොච්චර ළාමක කෙනෙක්ව හිටියා ද කියලා. කාවත් සමග කළ සංචාරවල දී මට ලැබුණු අත්දැකීම් හා සසඳද්දී මගේ ජීවිතය කොයි තරම් නීරස හා සීමා සහිතව තිබුණාද කියලා මට හිතෙනවා.” යනුවෙනි.

කාවත් හා සමග සිදුකළ සංචාරවල දී ඇය පටිගත කරගත් සිනමා පට යොදාගනිමින් ඇය “Geographically Speaking” නමින් සංචාරක සංදර්ශන කිහිපයක් පැවැත්වීය. ඇය විසින් රචිත පොත් කිහිපයක් තවමත් පාටකයින් අතර සැරිසරනු අන්තර්ජාලයේ දැකිය හැකිය.

පවුලේ අවශ්‍යතාවයක් නිසා ඔබේ රැකියාවට සමු දෙන්නට තීරණය කිරීමට සිදු වුව හොත් ඒ ගැන බිය විය යුතු නැත. නමුත් එම තීරණය කිසිවෙකුගේ බලපෑමකින් තොරව ඔබ විසින් ම ගනු ලැබිය යුත්තකි. ඔබේ තීරණය වැරදුනා යයි ඔබට හැඟුනොත් යළිත් එයම හෝ වෙනත් මුහුණුවරකින් හෝ ඇරඹීමට ඔබට හැකිය. ඉගෙනගත් දෙය කිසි දා අපතේ නොයයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *