ශක්‍තිමත් කාන්තාවකගේ 13

ශක්‍තිමත් කාන්තාවකගේ 13

ඔබ ශක්තිමත් කාන්තාවක් නම්,

  1. ඔබ ඔබව තවත් කෙනෙක් සමඟ සංසන්දනය කරන්නෙ නැහැ,
    අද බොහෝ විට අපි සමාජ මාධ්‍ය භාවිතා කරනවා ඉතාම සුලබව, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රම් ආදී මාධ්‍ය ඔස්සේ ඔබ නිරන්තරයෙන් විවිධ පුද්ගලයන් දකිනවා. ඔබ මවක් නම් ඔබ දකිනවා තවත් මවක් දරුවා සමඟ සංචාර වල නිරත වෙනවා, ගේ දොර පිළිවෙලට තියාගන්නවා. ඉන්පසුව ඔබ කල්පනා කරන්න ගන්නවාැයි එයාට එහෙම පුළුවන් නම් මට බැරි? මට නාගන්නවත් සමහරවිට වෙලා නෑ හැබැයි මේ කෙනා ගේ අස් කරලා ලස්සනට තියාගන්නවා කියලා.
    අන්න එතැනින් ඔබේ ඍණාත්මක හැඟීම් වර්ධනය වෙනවා.
    නමුත් ඔබ දන්නේ නෑ ඔබට සාපේක්ෂව අනෙක් පුදගලයාට තියෙන්නෙ කෙබඳු පසුබිමක්ද, කොටින්ම ඇය දාන දේවල් 100% සත්‍යද කියන එකවත්. සමහරවිට කෙනෙක් අවුරුද්දම අපිළිවෙලට ඉඳලා එක දවසක් ගේ අස් කරලා මගේ ගේ මෙහෙමයි මම හැමදාම තියාගන්නේ කියලා පින්තූරයක් දාන්න පුලුවන්. ඔබ අනේ මට බෑනේ කියලා ඒක නිසා පසුතැවේවි.
    නමුත් ඔබ ශක්තිමත් කාන්තාවක් නම් වෙන කෙනෙක් හා ඔබ සංසන්දනය කරනවා වෙනුවට හැමදේම මැදහත් සිතින් විඳගෙන ඔබගේ ඉලක්ක වලට යන්න කටයුතු කරාවි.
  2. ඕනෑවට වඩා Perfect වෙන්නෙ නෑ.
    ජීවිතෙ හැමෝම හැම අතින්ම පරිපූර්ණ නැහැ. Perfect නැහැ. ඔබ යම් අංශයකින් පරිපූර්ණ නම් තවත් අංශයකට ඔබ දුර්වල විය හැකියි. ඔබ බලෙන් පරිපූර්‍ර්ණ වෙන්න උත්සාහ කරනවා නම් එය ඔබටම වදයක් පීඩනයක් වෙන්න පුලුවන්. ඔබගේ ඉලක්ක වලට එය බාධාවක් වේවි.
  3. නොදන්නා දෙයක් අසා දැනගැනීමට පැකිලෙන්නේ නෑ.
    ඔබ සියල්ලම නොදන්නවා වෙන්න පුලුවන්. සමහර විට ඊළඟට කළයුත්ත මොකක්ද කියලා ඔබට හිතාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සෑම විටම ඔබට පුලුවන් ඔබ නොදන්නා දෙයක් අසා දැනගන්න.
  4. ඔබගේ ඍණාත්මක හඬ අමතක කරන්න.
    අපි දෙයක් ආරම්භ කරන විට හෝ යම් දෙයක් කරගෙන යන‍විට හිතේ කොණක, මනසේ කොණක පොඩි හඬක් ඇහෙන්න පටන් ගන්නවා ඕක කරන්න බෑ, කරන්න බැරි වෙයි, අමාරු වෙයි කියලා… අන්න ඒ හඬට ඉඩ දෙන්න එපා. ඒ හඬ ඔබ ධනාත්මක සිතුවිලි වලින් ධනාත්මක හඬකින් යටපත් කළ යුතුයි.

5. ඕනෑවට වඩා ඕනෑම දෙයක් ගැන හිතන්න එපා.
අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නවා ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා කල්පනා කරන්න. විශේෂයෙන්ම යම් ක්‍රියාවක ප්‍රතිපලය කොහොම වෙයිද? මෙහෙම කලොත් මොනවා වෙයිද කියලා. නමුත් බොහෝ විට ඕනෑම දෙයක් ඕනෑවට වඩා කල්පනා කිරීමේ අවසන් ප්‍රතිපලය ඍණාත්මකයි. ඒ නිසා නිතරම ඔබ කරන දේ ගැන කල්පනාවෙන් සිටින්න නමුත් ඕනෑවට වඩා කල්පනා කරන්න යන්න එපා.

6. ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න
ඕනෑම කෙනෙක්ට ප්‍රශ්ණ එනවා. මේ ගැටළු විවිධ පරාස වල ගැටළු වෙන්න පුළුවන්, නමුත් ප්‍රශ්ණයකින් පැන යාම ගැටළුවට පිළිතුරක් නොවෙයි, ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න, විසඳුමක් නැත්නම් නිශ්ෂබ්ද වන්න. සිනහවකින් පිළිතුරු දී ප්‍රශ්ණයෙන් ඉවත් වන්න. නැතුව ප්‍රශ්ණය සමඟ හැඟිමුත්තම් කරන්න එපා.

7. හැම වෙලේම සීමා මායිම් පිළිපැදිය යුතු නැහැ
මෙතන මම අදහස් කරන්නේ සමාජය විසින් දමන සීමා මායිම්. උදාහරණයක් විදියට කාන්තාවක් මෙවැනි විය යුතුයැයි මතයක් සමාජයේ ගොඩනගා තිබෙනවා. කාන්තාවක් කනට ඇසෙන්න කතා නොකරන හරිම තැන්පත් ගති වලින් යුතු අයෙක් විය යුතු බව අපට කුඩා කල සිටම උගනවනවා. නමුත් යම් කිසි අවස්ථාවල අපට ඒ රාමු වලින් එළියට ඒමට සිදු වනවා. ඔබට යම් අකටයුත්තක් හෝ හිංසනයක් සිදු වන විට රාමුව තුළ ඔබගේ සීමාවේ සිටින්නට බැහැ නේද?

8. කිසි විටෙක තව කෙනෙක් පහත් කරන්න එපා.
සමහර විට ඔබ හිතයි තව කෙනෙක් පහත් කර කතා කිරීමෙන් ඔබ උසස් වනවා කියා. නමුත් ඒකේ හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නේ. ඔබ කෙනෙක්ව පහත් කොට කතා කරනවා නම් ඔබගේ චරිත ලක්ෂණත් ඒ ආකාරයෙන්ම අනෙක් කෙනෙක් මැනගන්නවා. ලොව කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නැහැ. ඒ අනුව කෙනෙක් පහත් කොට කතා කිරීමෙන් ඔබ පහත් ගතිගුණ ඇත්තෙක් බවට පත් වනවා.

9. ඔබේ සීමාවන් අනෙක් අයට ලකුණු කරන්න දෙන්න එපා.
මේ ලෝකේ නිතරම ඉන්නවා ඔබට ඉර්ෂ්‍යා කරන,ඔබගේ දියුණුව දකින්න කැමති නැති පිරිසක්.ඒ අය ඔබ අධෛර්‍යය කරන්නට නොයෙක් කතා කියාවි, නමුත් කිසි විටෙක ඔවුන් වෙත සවන් නොදී ඔබ ඔබ පිළිබඳව විශ්වාසයක් ඇතිව ඔබේ ගමන යන්න. නිතරම ඔබේ ඉලක්කයේ සීමාව ඔබ ළඟ තබා ගන්න, වෙන අයට ඔබේ ගමන සීමා කරනන් දෙන්න එපා.

10. හැම දේම නිවැරදිව සිදු නොවන විට ඔබ ඔබට චෝදනා කරගන්න එපා.
සියල්ල හැම මොහොතේම හරි විදියට සිදු වේ යැයි අපිට බලාපොරොත්තු විය නොහැකියි. ඒ අනුව වැරදීම් වන විට ඔබ ඔබටම චෝදනා කරගැනීමෙන් ඔබගේ ඉදිරියේ කරන්නට නියමිත වැඩ වල යම් පසුබෑමක් ඇති විය හැකියි. ඒ අනුවා “මෙය මගේ වරද ” වෙනුවට “මට මීට වඩා හොඳින් මෙය කරන්න තිබුණා” යැයි කල්පනා කිරීම යෝග්‍යයි.

11. ඔබ නිහඬව සිටිය යුතු නැහැ.
කාන්තාවක් වූ පමණින් ඔබ ඔබගේ අදහස් ප්‍රකාශ නොකර සිටිය යුතු නැහැ.පිරිමි පමණක් අදහස් දැක්විය යුතුයි හෝ ගැහැණුන්ගේ මත පිළිගන්නේ නැතැයි යන සම්මතයේ ඔබ සිටිය යුතු නෑ. අනිවාර්‍යයෙන්ම ඔබේ හඬ ඔබේ මතය සමාජගත විය යුතුයි.

12. වෙනස් වීමට බය වෙන්න එපා.
ඔබ සිටිනා රැකියාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ දේ කරන්න. ඔබ අද රක්ෂණ නියෝජිතයෙකු වෙලා හෙට ඔබගේම සැලොන් එකක් ආරම්භ කිරීමට හිතනවා නම් ඒ දේ අනිවාර්‍යයෙන්ම කරන්න. නමුත් ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වන්න.

13. ඔබේ සාර්ථකත්වයේ අයිතිකරු ඔබ වන්න.
ඔබට ඔබගෙ සාර්ථකතවයට යම් කිසි කෙනෙක් ප්‍රශංසා කරයි නම් ඒ ප්‍රශංසාව භාර ගන්න. ඒ ප්‍රශංසාවට ස්තුති කරන්න. ඔබට දැනේවි ඔබ පිළිබඳවම ආඩම්බරකමක්.

කාන්තාවක් වීම සාර්ථක වීමට බාධාවක් නොවෙයි. නොපසුබට උත්සාහය සහ කැපවීම ඔබව ඉදිරියට ගෙන යාවි. නිසි ඉල්ලක්කයක් කරා නිරන්තරයෙන් ධනාත්මක චින්තනයකින් ගමන් කරන්න.
ඔබේ සාර්ථකත්වය වැඩි ඈතක නොවේවි.

හංසනි හිදැල්ලආරච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *