දැයේ දියණියන්ට ආදරයෙන්…..

දැයේ දියණියන්ට ආදරයෙන්…..

ආදරණීය දෝණි ,

ලස්සන මනමාලියක් වෙලා කුලගෙට ආව ඔයාට දහසක් හීන ඇති.ඔයා මංගල උත්සවය සැලසුම් කරන්න ඇති අවම අවුරුද්දක් තිස්සෙ.ඒ සුන්දර දවස ජීවිතය පුරාම මිහිරි මතකයක්ලෙස රඳවගන්න ඔයා පෙරුම් පුරන්න ඇති.ඒ පටන් ගත්තු අලුත් ජීවිතේ සාර්ථක කරගන්න ඔබ සැලසුම් කළාද ?විවාහයෙන් පස්සෙ බිරිඳක් ,ගෘහනියක් විදිහට ඔබ සාර්ථක වන්නේ කෙසේද ?  සමහර විට ඔබේ උසස්අධ්‍යාපන කටයුතු ,රැකියාව නිසා ඔබට ඉවුම්පිහුම් ,ගෘහ පාලනය ගැන අත්දැකීම් අඩු ඇති . නැත්නම්  ඇත්තේම නැතිව ඇති.ගෙදර අයගෙ හුරතල් මැද ඔයා මලක් වගේ හැදෙන්න ඇති.

ඒත් දෝණි ජීවිතේ එක් එක් අවධි තියෙනවා .අපි ඒවාට අනුරූපව හැඩගැසිය යුතුයි .ඒ කෙළිලොල් ,සැහැල්ලු  ජීවිතේට  දැන් වගකීම් දරන්නට සූදානම් විය යුතුයි . එයින් අදහස් වෙන්නෙ නෑ ඔයාගෙ සැහැල්ලු ජීවිතේ අවසානයි කියලා .ඔබ ඉස්සරට වඩා වගකීම් සහගත විය යුතුයි .ඒක මහා ලොකු බරක්  කරගන්න එපා. ඔබ අලුත් ජීවිතේ පටන් ගන්නෙ ඔබෙ සැමියගෙ පවුලේ අය සමඟ නම් ඔබ ඒ ගෙදරට අඩිය තියන්නෙම වැරදි ආකල්ප ඔලුවෙ තියාගෙන වෙන්න පුලුවන් .ඔබගෙ යෙහෙළියන්ගෙ හිතවතුන්ගෙ අත්දැකීම් ඔබේ කරගන්න එපා.නැන්දම්මා කියන වචනෙ වෙනුවට අම්මා කියලා කියන්න පුරුදු වෙන්න .

එහෙම හිතලා ඒ ගෙදරට අඩිය තියන්න.ඈ මොන වගේ කෙනෙක් වුනත් ඔබේ හැසිරීමෙන්,කථාබහෙන්,  ක්‍රියාවෙන් ඔබට පුලුවන් වෙයි ඇගේ ආදරය දිනාගන්න.පළමුව  ඔබ නම්‍යශීලී වෙන්න.එතැන පරම්පරා දෙකක අදහස් ගැටෙන්න ඉඩ තියෙනවා .ඉවසීම කියන දේ ප්‍රගුණ කිරීමට ඔබට දැන් කාළය ඇවිත්.නමුත් ඔය  වයසට නැත්තෙත් ඕකම තමා.

 විවාහයකදි එකතු වෙන්නෙ 100% ගැලපෙන යුවළක් නොවෙයි .එහෙම ගැලපෙන දෙන්නෙක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.ඔබ දෙදෙනාගෙ පවුල් දෙකත් ඒ වගේ .ගති පැවතුම් ,පුරුදු ,ඔබට ආගන්තුක වෙන්න පුලුවන් .නමුත් ජීවිත කාලයක්පු රාවට ඉන්න යන ගෙදර , සම්බන්ධ කම් පැවැත්විය යුතු නෑ සනුහරයක් අතර ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද ,ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන කාරණා මත ඔබට අලුත් ජීවිතය දිව්‍ය ලෝකයක් හෝ අපායක් කරගන්න පුලුවන් .

ඔබ දන්නවද දෝණි  ඔබ නැන්දම්මගෙ නිවසෙ ගතකරන පළවැනි දවසෙ උදේම  ඔබට ඇගේ හිත දිනාගන්න රහසක් තියෙනවා .අලුත්  පරම්පරාවෙ ගෑණු ළමයින්ගේ  ආකල්ප හරි වෙනස්.කසාද බැඳල යන්නෙ කාගෙවත් වළං  හෝදන්නවත් ,රෙදි හෝදන්නවත් වහල්කම් කරන්නවත් නෙවෙයි කියලා ඔවුන් හිතන්නෙ.ඒත් මේ ආසියාතික රටවල තවමත් සම්ප්‍රදායික දේවල්වලට තැනක් තියෙනවා .ඒ නිසා තමයි තවමත් අපේ සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර රැකිලා තියෙන්නේ .ඉස්සර කාලෙ ගෙදරට ලේලියක් ගේන්නෙ “අම්මගෙ ලේසියට “කවුරු හරි ඕනෑ කාලෙ ආවම.දැන් කාලෙ වෙනස් .තාලෙ අලුත් .ඒත්  ඕනෑම නැන්දම්මෙක් කැමතියි ගෙදර
ලේලි ගේ දොර වැඩ කටයුතු වලට උදව් වෙනවනම්.ඔබ ගෙදර පුරුද්දට අම්මා තේ එක හදල අතට දෙනකම් උදේ අට නවය වෙනකම් නිදාගෙන හිටියොත් ..? නැත්නම් ඔබ උදෙන් අවදිවෙලා ගෙදර හැමෝටම තේ හදල නැන්දම්මගෙ තේ එක ඇගේ අතටම ගිහින් දුන්නොත් …?

අන්න එතකොට  ඇගේ හිත දිනා ගැන්මේ පළමු පියවර ඒක වෙන්න පුලුවන් .ඒ ක්‍රියාවෙන්ම
ඇයට ඔබ ගැන පැහැදීමක් ඇතිවෙයි .සමහර නැන්දම්මල එහෙම එකපාරට අගය කරන්නෙ නෑ.ඔබට වචනයෙන් නොකිව්වට ඈ ඒ ගැන සතුටු වෙනව .

දෝණි ,

ඔයා ඔයාගෙ පැත්තෙන් කරන්න තියෙන දේ කරන්න.ඔබ එකපාරටම ඒ ගෙදර ආධ්පත්‍ය පතුරවන්නවත් ,කුස්සිය ආක්‍රමණය කරන්නවත් යන්න එපා.හැමවිටම ඇගේ අණසකට යටත් ලෙස හඟවන්න .”මගෙන් නාහා මේ ගෙදර කිසිදෙයක් කරන්න  බෑ “වර්ගයේ නැන්දම්මලා අතර ඉතා බුද්ධිමත් නැන්දම්මලා ද සිටින බව මතක තබාගන්න .වසර ගණනාවක් තමන්ගේ රාජධානියේ රැජින විදිහට හිටිය ඇය එකපාරටම ඔටුනු බිම තියන්න සූදානම් නෑ. තරුණ ඔබට ඒ හැඟීම් තේරෙන්නේ නෑ.ඒ නිසා ඔබට ඇයව පේන්නෙම ඔබේ සුරංගනා කථාවේ දුෂ්ඨ ,නපුරු මායාකාරිය වගේ .ඔබ ඉවසීමෙන් කාලයට ඉඩදෙන්න .දවසක ඇය අතින්ම ඇගේ ඔටුන්න ඔබේ හිසේ පළඳවයි.කැත්තට පොල්ල වගේ හිටියොත් එතනදි අසරණ වන්නේ ඔබේ  සැමියායි.මොකද ඔහුට ඔබ දෙදෙනාම වටිනවා . නැන්දම්මා වැරදි වුනත් ඔබේ ඉවසීමෙන් ඔබට සැනසීමක් ලැබෙයි.

බුදුන්වහන්සේ  විශාඛාවට දේශනා කළේ ඇතුලත ගිනි පිටතට දෙන්න එපා .පිටත ගිනි ඇතුලට ගන්න එපා කියලා .

ඔබ දන්නවද ඒකෙ තේරුම.ගෙදර ප්‍රශ්න පිට අයට කියලා විසඳුම් හොයන්න යන්න එපා .ඒක හරිම භයානක දෙයක් .ඔබේ හැම ප්‍රශ්නයක්ම සැමියාට කියන්න පුලුවන් වෙන්න ඕන .දෙදෙනා අතර ප්‍රශ්නයක් නම් පවුලේ වැඩිහිටි කෙනෙකුට කියන්න .අතිශය පෞද්ගලික කාරණා විවුර්ත කළ යුතු සීමාව ඔබ වටහාගත යුතුයි.යෙහෙළියන් ,හිතවතුන් ,පිරිමි යහලුවන් ,කොච්චර ලෙංගතු වුනත් අනාගතයේදී ඔබට විසඳුමක් නැති ප්‍රශ්න වැලක පැටලෙන්නට ඔබේ ඒ විවුර්ත භාවයම හේතුවක් විය හැකියි.

ඒ වගේම පිටත ගිනි ගෙට ගන්නත් එපා.සමහර විට ඔබ අනෙක් අයගෙ ප්‍රශ්න විසඳන්න ගිහින් ඔබේ පවුලෙ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් .කිසිම දෙයකින් පවුලේ සමගිය නැතිවෙන්න දෙන්න එපා. ඔබ හැමවිටම ඔබේ දෙමාපියන්ට ,සහෝදරයන් ට තරම්ම ,සැමියාගේ දෙමාපියන්ට සහෝදරයන් ට සළකන්න.ඔහු ඔබ ගැන පැහැදීමක් ඇතිවීමට එය ඉවහල් වෙනවා.නැන්දම්මගෙ උපන් දිනේට සුබ පතලා පුංචි තෑග්ගක් දෙන්න ඔබට පුලුවන් නේද ? කවදහරි අම්ම කෙනෙක් වුන දවසට මේ හැඟීම් ඔබට දැනේවි .වයසින් මුහුකුරා ගියාම ආපස්සට හැරිලා බලනකොට පසුතැවීමක් ඇතිනොවෙන්න වර්තමානයේ ජීවත් වීමටයි ඔබට මේ දේවල් කියන්නෙ.දෝණි ඔබ ආදරණීය දුවෙක් වෙන්න . ඔබ වෘත්තීය මට්ටමින් මොනතරම් සාර්ථක වුනත් ,ගෘහ ජීවිතය අසාර්ථක නම් ඔබ සාර්ථක ගැහැණියක් නොවේ.ඔබේ ජීවිතය තුළ වටිනා සබඳකම් රැකගන්නට ප්‍රමාද වෙන්න එපා.

මේනකා දිල් රුක්ෂි රන්දෙණිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *