බත් ගැන කතා………

බත් ගැන කතා………

ලියාරා එක්ක අද අපි කතා කරමු බත් ගැන. නොයෙක් හාල් වර්ග වෙළද පොලේ ගන්න පුලුවන්. සුදු හාල්, දුඹුරු(රතු )හාල්, බාගෙට පිසූ, තැම්බූ හා වයිල්ඩ් ආදී සහල් වර්ග.

බත් ප්‍රධාන ආහාර වේලට අමතරව,

ලංකාවෙ අපිට හොයාගන්න පුලුවන් සම්බා වලට අමතරව බාස්මති වර්ග.බාස්මති හාල් උයන්න හුගක් අය බයයි. මොකද හරිම ඉක්මනට බෙරි වෙනවා හෝ කැඩෙන නිසා. මේක උයන්න විදි හුඟක් තියෙනව. ඒත් ගන්න හාල අතට අරන් බලන්න ඔයාට තේරෙයි. ඒකෙ ලපටි ගතියක් එහෙම නැත්නම් පාට දෙකක් වගේ සුදුයි විනිවිද පේන ගතියකුයි වගේ නම් තුනී නම් වතුර ටිකක් අඩු කරන්න.

  • පුඩින් වලට
  • සලාද වලට
  • බයින්ඩින්  – මීට් බෝල්, කට්ලට්ස්( ක්‍රොකෙට්) වර්ග) වලට,
  • පිරවුම් වලට- බෙල් පෙපර්, තක්කාලි, බටු වර්ග,මාළු මිරිස් ,සුකිනි වගේ එළවලු වලට පිරවුමක් විදියට එකතු කරන්න පුලුවන්.

හාල් කිලෝ එකක් උයනව නම් වතුර ලීටර් එකයි බාගයක් වගේ ගන්න. නැත්නම් හාල් කෝප්ප ගානට නම් කෝප්ප එකට ඒ කෝප්පෙන්ම වතුර එකයි බාගයක් ගන්න. හොඳට හෝදල උයාගන්න සාමාන්‍ය ගින්දරෙන්. එහෙමත් නැත්නම් ඒ ප්‍රමාණයම වතුර නටන්න දීල හෝදපු හාල ඒකට දාල උයාගන්නත් පුලුවන්.

නැත්නම් ටිකක් ලොකු භාජනේකට වතුර නටන කොට තෙල් චුට්ටක් දාල හෝදල පොගවපු හාල් එක දාගන්න. බත 85% වගේ උයලා කොලන්ඩර් එකට දාල වතුර පෙරාගන්න. දැන් ඒ හිස් බාජනේටම පෙරා ගත්ත බත් එක දාල විනාඩි පහක් පමණ මද ගින්නෙ පිස ගන්න. ඒ රස්නෙට අර ඉතුරු 15% ත් බත ඉදෙයි.

බත රස කරගන්න – ලුණු , තෙල් , කරාබු නැටි , කරදමුංගු, ගම්මිරිස් ඇට, සුදු ගම්මිරිස් කුඩු හෝ කලු ගම්මිරිස් කුඩු, කහ, මස් තැම්බූ වතුර, බටර් , බේ ලීෆ්, වගේ දේවල් එකතු කරගන්න පුලුවන්.

බාස්මතී හාල් උයන්න කලින් පැය කාලක් පෙඟෙන්න තියන්න.

බතට කහ හරි වෙන පාටක් හරි එකතු කරනව නම් වතුර ටිකක දිය කරන්න. පසුව උයාගත්‍ බතට තැනින් තැන දාල විනාඩි 5කින් පමණ පසු කලවම් කරගන්න.

බතට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර අවන් එකේ බත් උයාගන්නත් පුලුවන්.

බත් වර්ග කිහිපයක්

1. ෆ්‍රයිඩ් රයිස්

රයිස් හදන විදිය කෙටියෙන් නම් වොක් එකේ තෙල් රත් උනාම බිත්තර එකතු කරල නොනවත්වා හැදි ගාන්න. එලවළු එකතු කරගන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. එළවළු ගොඩක් තම්බන්න එපා බාගෙට අමු වෙන්න ඕනෙ.තෙල් මදි නම් ටිකක් එකතු කරගන්න.දැන් කලින් උයාගත්ත බත් එක එකතු කරන්න. බත් දිලිසෙන තෙක් හොදට බැදගන්න ඕනෙ. මතක තියාගන්න ෆ්‍රයිඩ් රයිස් හදන්නෙ වැඩි ගින්දරේ නොනවත්වා හැදිගාන්න ඕනෙ අඩි අල්ලන්නෙ නැතිව. අන්තිමට සෝයා සෝස් ටිකක් එකතු කරගන්න. මස් වර්ග එකතු කරනවනම් මුලින් මේ පෑන් එකේම බැදල පැත්තකින් තියාගෙන අන්තිමට එකතු කරගන්න.

සීනි තේ හැඳි බාගයක් අන්තිමට එකතු කරගන්න.(ස්වීට් සෝයා සෝස් නම් එකතු කලේ සීනි දාන්න එපා.) ලූණු කොළ දාන්නෙ අන්තිමට

එළවළු -සාමාන්‍යෙන් අපි ගන්නෙ කැරට් ,ලීක්ස්, සමහරු ගෝවා, වගේ එළවලු. කැරට් හීනි දිග තීරු කපන්න පුලුවන්, චූටි කොටු කපන්න පුලුවන්.

චිකන් – තම්බල තීරු තීරු ඉරල, බැදල හෝ අමු මස් අරන් බත තෙම්පරාදු කරන වොක් එකේම බැදල ගන්නත් පුලුවන්.

මාලු ඉස්සො වර්ග – සී ෆුඩ් ඕනෙ නම් අමුවෙන් ම එකතු කරගන්න පුලුවන්. සී ෆුඩ් වැඩි වෙලා කුක් කරන්න අවශ්‍ය නෑ. නැත්නම් ලූණු හා ලෙමන් කෑල්ලක් එක්ක තම්බල ගන්නත් පුලුවන්.

සෝස් වර්ග- ඩාක් සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් , ස්වීට් චිලි සෝස් ගන්න පුලුවන්.

{චයිනීස් ෆ්‍රයිඩ් රයිස් වලට අජිනමොටෝ දානව (MSG – Mono Sodium glutamate ) ඒත් ඒ වෙනුවට ඔයා දාන ලුණු ප්‍රමාණය ට වඩා චුට්ටක් වැඩි කරන්න.චිකන් තැම්බූ වතුරෙන් බත උයාගන්න}

සමහරු චිලි පේස්ට් එකතු කරනවා. ඒත් කරවල කෑල්ලක් බැදල කුඩු කරල රයිස් එකට එකතු කරගන්න. එලවලු බිත්තර මස් මාලු කලවම් කරන ගමන් වොක් එකේම පැත්තකින් හෝ මැදට තෙලට කෑලි මිරිස් ටිකක් එකතු කරල බැදගෙන කලවම් කරගන්න.

ඩාර්ක් සෝයා සෝස් දානව නම් සීනි දාන්න. ස්වීට් සොයා සෝස් නම් සීනි දාන්න එපා. සෝයා සෝස් හුගක් දාන්න එපා.

වෙජිටබල් රයිස් වලට පොඩියට චොප් කරගත්ත සුදු ලූණු , ලීක්ස් අඩුම ගින්දරෙන් හුඟක් වෙලා වහල කුක් කරන්න.අඩි අල්ලන්න දෙන්නෙ නැතුව කලවම් කරන්න.ගෝවා දාන්න.මේ දෙකේ උනන වතුරට අනිත් ඔයාට ඕනෙ එළවලු එකතු කරගන්න. එළවලු වලින් උනන වතුර බත් වලට එකතු උනාම රසයි. කැරට් චූටි කොටු කපාගන්න. කැරට් අන්තිමට දාන්න.

බිත්තර එකතු කරනව නම් වෙනම බටර් වල බැදල එකතු කරගන්න පුලුවන් .

2. සාමාන්‍යෙන් ඔයාල චිකන් වලට මීකිරි, ලුනු මිරිස් වගේ දේවලින් මැරිනේට් කරනවනෙ, මයෝනීස් වලින් මැරිනේට් කරල තියෙනවද?

රැන්ච් මයෝ විතරක් ගත්තමත් හොදයි.හැබයි රැන්ච් එක ගන්නව නම් මීකිරි දාන්න එපා. ඒත් ඔයා ඕනෙම මයෝ එකක් පාවිච්චි කරන්න . මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු ,චොප් කරගත්ත සුදුලූනු හෝ පවුඩර් . මේ වලින් චිකන් මැරිනේට් කරල හොදට වහල ෆ්‍රිජ් එකේ පැය දෙක තුනක් තියන්න.

මේකට චිකන් බ්‍රෙස්ට් නැතුව තයි (කකුල්) ගත්තනම් තමා රස. සමත් එක්ක.දැන් මැරිනේට් කරපු චිකන් එක අරන් තෙල් චුට්ටක් අරන් දුබුරු වෙනකන් දෙපැත්ත බදින්න.

දැන් චිකන් ටික අයින් කරල ඒකටම ලූණු, සුදුලූණු ටිකක් දුඹුරු වෙනකන් බදින්න. ලූණු වලිනුත් හාල් එකට පාට එනවා. දැන් හාල් එකතු කර හොදින් හැඳි ගාන්න. මස් මැරිනේට් කරපු බාජනේටම වතුර අරන් හාල් එකට ඇති වෙන්න වතුර දාගන්න. ලුණු, ගම්මිරිස් ඇට ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, එනසාල් කරාබු නැටි 2,3 ක් දාන්න . මස් ටික හාල් උඩින් අසුරන්න. හොඳට වහල බත උයාගන්න පුලුවන්. අවන් දාන්නත් පුලුවන් ඇලුමිනියම් ෆොයිල් එකකින් වහල . (මේ බතට කීරි සම්බා වගේ චූටි ඇට හාලක් ගන්න)

3. කැරට් වතුරෙන් බ්ලෙන්ඩ් කර, ඒ වතුරෙන් බත පිසගන්න.ලුණු ගම්මිරිස් එකතු කරගන්න.

4. චොප් කරගත් සුදු ලූණු ,ඉගුරු හා සැල්දිරි ‍බටර් හෝ මාගරින් වල රන්වන් පැහැ වනතෙක් බදින්න. හාල් ,ලුණු ,ගම්මිරිස් ,සූරාගත් දොඩම් පොතු තේ හැන්දක් එකතු කරගන්න. දැන් දොඩම් යුශ කෝප්ප එකක්, හා බතට අවශ්‍ය පමණ වතුර එකතු කර මද ගින්නෙ පිසගන්න. (දොඩම් පොතු හා යුශ වෙනුවට ලෙමන් පොතු හා යුශ එකතු කරන්නත් පුලුවන්. මේ ආකාරයටම තක්කාලි යුශ එකතු කර තක්කාලි බත් පිසගන්නත් පුලුවන්)

5. කොල ,රතු බෙල් පෙපර්,තක්කාලි මද ඉවත් කර කොටු කපාගෙන, ලූණු හා බටර් වල තෙම්පරාදු කර පිසගත් බත් එකතු කරන්න.

6. බටර් හා ලූනු එක්ක බත් තෙම්පරාදු කරගෙන අන්තිමට පාමසාන් චීස් ටිකක් එකතු කර පොඩ්ඩන්ට දෙන්න පුලුවන්.

7. ලූණු ,සුදු ලූණු ,සැල්දිරි තෙම්පරාදු කර රතු මස් වර්ග සමග බිම්මල් තෙම්පරාදු කර බත් පිසගන්න.

8. සුදු ලූණු මේස හැදි 8-10 පමණ බටර් වල තෙම්පරාදු කර පාස්ලි හා පිස ගත් බත් එකතු කර මුදු හැඩැති අච්චුවකට අසුරා තදකරන්න. තැටියකට අනිත් පැත්ත හරවාගන්න.

9. රයිස් පුඩින් – ඉතුරු බත් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්. කිරි කෝප්ප 5, බත් කෝප්ප 1,සීනි කෝප්ප 1/2, බටර් මේස හැදි 3, ලුණු කුඩු තේ හැදි 1/2 හොදින් කලවම් කර සාමාන්‍ය ගින්දරෙන් පිසගන්න මිශ්‍රණය වටේට කුඩා බුබුළු මතුවන තෙක්. පසුව ගින්දර අඩු කර කිරි මදක් හිදී බත් සමග උකු මිශ්‍රණයක් පදමට එනතෙක් පිසින්න. අවසානයේ සාදික්කා කුඩු තේ හැදි 1/2 හා වැනිලා තේ හැදි 2ක් එකතු කරගන්න. නිවා ශීතකරණයේ තබා කූල් කර පිලිගන්වන විට සාදික්කා කුඩු ඉසගන්න. (අවශ්‍ය නම් විප් ක්‍රීම් හෝ කපා ගත් පළතුරු උඩින් එකතු කරන්න)

මේ වගේ හිතෙන හිතෙන දේවල් වලින් අත්හදාබැලීම් කරන්න. මීට අමතරව ඔබට ආහාර පිසීම සම්බන්ද ගැටලු ඇත්නම් ලියාරා ෆේස්බුක් පිටුව මගින් අප වෙත යොමු කරන්න. ඉදිරියට ඒ ගැන අපි සාකච්ඡා කරමු.

සූපවේදිනී කල්‍යාණි නිසංසලා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *