අවුරැදු අසිරියත් එක්කම මතකෙට එන සිංහල අච්චාරු

අවුරැදු අසිරියත් එක්කම මතකෙට එන සිංහල අච්චාරු

කොයිතරම් නම් ව්‍යාංජන, මැල්ලුම්,බැදුම් තිබුනත් බත් පතට අච්චාරු ටිකක් කලවම් වුණහම දැනෙන රස කියල නිම කරන්න බැහැ.

“කන්න බැහැ කෑමට පිරියක් නෑ..” කියන කෙනෙක් උනත් අච්චාරැ සුවඳක ඉව වැටුනොත් කිසිම බලකිරීමකින් තොරව අපූරුවට බත් පිගානක්ම කයි.

සංකීර්ණ නැහැ, හරිම පහසුවෙන් වගෙම ඉක්මනටම හදාගන්න පුලුවන්.නිවාඩු දවසක හදලා බෝතල් කර තියාගන්න. අවුරුදු සමයේදී විතරක් නෙවෙයි.
පාසලට ගෙනියන්න ලන්ච් බොක්ස් සකස් කරද්දී කෑම එක රසට පැක් කරගන්න පුලුවන්.
වැඩට යන අයටත් බත් මුලට ව්‍යාංජන ටිකත් එක්ක ,හරි අපූරුවට අච්චාරු ටිකකුත් එකතු කරලා බෙදලා දෙන්න පුලවන්.

අවශ්‍ය වෙන්නේ.

පොඩි රතුලූණු 250 g
අමු ගස්ලබු ගෙඩියක්
කැරට් ගෙඩි දෙකක්
අමු මිරිස් කරල් කිහිපයක්
කොච්චි කරල් කිහිපයක්
විනාකිරි කෝප්පයක්
අබ මේස හැදි 1 ක්
ඉගුරැ කැබැල්ලක්
සුදු ලූණු ගෙඩියක්
ලුණු කුඩු තේ හැදි 1/4
කහ කුඩු තේ හැදි 1/4
මුරැංගා ගහේ කදේ පොතු ටිකක් (රසය වැඩිවෙන්නේ මේකෙන්.පොත්තේ කොළ පැහැ කොටස සූරා ඉවත්කර තමයි ගන්නේ)

මුලින්ම අබ ටික වැසෙන මට්ටමට විනාකිරි දමා පැයක් පමණ වසා තබන්න.මෙසේ කරන්නේ අබ වල තිබෙන තිත්ත රසය ඉවත්වීමටයි.
දැන් අබ ටික විනාකිරි සමගම ග්රයින්ඩර් කප් එකට දමා ගන්න.
මෙයටම ඉගුරු කැබැල්ල,සුදු ලූණූ,මුරැංගා පොතු ටික,ලුණු කුඩු සහ කහ කුඩු දමා අඹරා ගන්න.
ග්රයින්ඩර් එකේ හරි මිරිස් ගලේ හෝ වංගෙඩියේ ලේසි විදිහකට අඹරාගන්න.
මෙය පසෙකින් තබා ගන්න.

ගස්ලබු ගෙඩියේ පොතු ඇරගන්න.කිරි තැවරී තිබෙන නිසා ගෙඩිය නැවත සෝදා ඇට ඉවත්කරගෙන අගල් දෙකක පමණ හීනි දිග තීරැ වලට කපාගන්න.
කැරට් ද හීනි දිග තීරැ වලට කපාගන්න.

අමු මිරිස් හා කොච්චි කරල් වෙන්⁣ නොවන්න මැදින් පලා ඇට ඉවත් කරගන්න
රතු ලුණු සුද්ද කරගන්න.
සෝදා සර්වියට් එකකින් පිසගෙන තෙත ඉවත් කරගෙන පසෙකින් තබාගන්න.

විනාකිරි කෝප්පයෙන් බාගයක් මැටි ඇතිලියක දමා රත් කරන්න.
එයට කැරට් ටික දමා තත්පර 30 ක් පමණ තම්බාගෙන ඉවත් කරගන්න.
මේ ආකාරයට අමු මිරිස්,කොච්චි හා රතු ලූණුද තත්පර 30 ගානේ විනාකිරිවල තම්බගෙන ලිපෙන් ඉවත් කරගන්න.
අවසානයට ගස්ලබු ටික දමා විනාඩි කිහිපයක් කලවම් කරන්න.
සර්වියට් එකක් එලා ඒ මතට මේ සියල්ල දමන්න.
වියලීම සදහා.

දැන් එම ඇතිලියේ ඇති විනාකිරි වලට මෙම එලවලු වල තිබූ ජලය එකතු වී ඇති නිසා එම විනාකිරි ටික ඉවත් කරගන්න.

කෝප්පයේ ඉතුරැ විනාකිරි ටික ඇතිලියට දමා කලින් අඹරාගත් අබ මිශ්රණය එක්කර කලවම් කරන්න.රස බලා ලුණු දමා ගන්න.
තම්බා ගත් එළවලු ටික මෙයට එක් කර කලවම් කරන්න.
ඉන්පසු සියල්ල හැන්දකින් තද කර හට්ටියේ කට පත්තර කඩදාසියකින් බැද දිනක් දෙකක් පමණ තබා කෑමට ගන්න.

සෝදා වියලා ගත් වීදුරැ බෝතල් වල අසුරා කල් තබා ගන්න.
ජල වාෂ්ප ඇතුල් නොවීමට බෝතලයේ මූඩියට තෙල් කඩදාසියක් හෝ ටිෂූ පේපර් එකක් තබන්න..
වියලි හැන්දක් භාවිතා කලහොත් නරක් නොවී දිගු කාළයක් තබාගත හැකියි.

චමීරා පතිනායක
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *