නව යුග දිවියේ බිළිඳු සිහිනයට ලියාරා අත්වැල – 05

නව යුග දිවියේ බිළිඳු සිහිනයට ලියාරා අත්වැල – 05

ස්ත්‍රියකගේ ලොකුම පැතුම කුස දරා සිටින ඔබට, ඒ නිසාම ඇතිවිය හැකි මූලිකම ආබාධ අතුරින් එකක් වන්නේ ගර්භණී සමයේ ඇතිවන අධික වමනයයි (hyperemesis gravidarum). බොහෝ දෙනෙකුට මෙය උදෑසන ඇතිවන ඔක්කාර ගතියකට (morning sickness) පමණක් සීමා වුවද, ඇතැමකුට කෑම අරුචිය, ඔක්කාරය, අධික වමනය මෙන්ම බර අඩුවීම හා විජලනය වීම දක්වාම වර්ධනය වූ රෝගී තත්ත්වයක් බවට පත්විය හැකිය.

හැම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇත්තා සේ, මෙහිදීද තත්ත්වය කෙතරම් බරපතළ වුවත් ඔබට සැනසීමට කරුණක්ද ඒ තුළ ඇත. එනම් මෙය බොහෝ විට ඔබගේ දරුවා සුවෙන් පසුවන බවට ඉඟියක් වීමයි. සාර්ථක නොවන ගර්භනී අවස්ථාවන් වලදී සාමාන්‍යයෙන් මෙවන් තත්ත්වයක් ඇති වන්නේ නැත.

ඔබට අධික ලෙස වමනය යෑම පවතී නම් ස්කෑන් පරීක්ෂණයක් කර බැලීම වැදගත් වේ. මන්ද ඔබ කුස තුළ වැඩෙන්නේ නිවුන් දරුවන් විය හැකි බැවිනි. ඉතා කලාතුරකින් සාර්ථක නොවන කලලයක් (molar pregnancy – මෙය ඇතැම් විට පිළිකාවක් බවට පත්විය හැකි නිසා වහාම ඉවත් කළ යුතුය) වීමටද හැකිය. ඔබට මෙලෙස අධික වමනය ඇතිවීමට පවුල් ඉතිහාසයක් තිබේ නම් හෝ මීට පෙර ඔබගේ ගර්භනී අවස්ථාවන් වලදී මෙවන් තත්ත්වයක් ඇතිවී තිබේ නම් මෙවරද එසේ වීමට වැඩි සම්භාවිතාවක් පවතී. සමහරක් අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් නිසා හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරිත්වය නිසාද සිදුවිය හැකිය.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඔබට නිවසේදී සිදු කළ හැකි පිළිවෙත් කිහිපයක් පවතී.

  • පාන්දර අවදි වීම
  • දිනපතා හිරු උදාවට පෙර සිසිල් ජලයෙන් ස්නානය කිරීම
  • උදෑසන දත් මැදීමට පෙර සැහැල්ලු යමක් ආහාරයට ගැනීම (ඇතැම් අයෙකුට හිස්බඩ දත් මැදීම වඩාත් ප්‍රතිඵලදායක වේ)
  • කුස පිරෙන තෙක් එකවර ආහාර නොගැනීම. කුඩා ප්‍රමාණ වලින් වරින් වර වැඩි වාර ගණනක් ආහාරයට ගැනීම. තත්ත්වය ඉතාමත් බරපතළ නම් දියර වර්ග පමණක් ආහාරයට ගන්න
  • තෙල් සහිත ආහාර භාවිතය අවම කිරීම
  • විජලනය වීම වළක්වා ගැනීමට හැකි තාක් දියර වර්ග භාවිත කිරීම
  • වමනය යෑමේදී පිටවන ඛනිජ වර්ග ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ජීවනි හෝ තැඹිලි වතුර පානය කිරීම
  • ඇතැම් විට කෑම පිසීම, කෑම අරුචිය වැඩිවීමට හේතුවේ. එසේ නම් කෑම පිසීමෙන් වැළකී සිටීම, කෑම පිසින විට මුළුතැන්ගෙට යාමෙන් වැළකී සිටීම යෝග්‍ය වේ
  • ඇතැම් අයෙකුට විවිධ සුවඳ වර්ග ආඝ්‍රහණය වමනෙ වැඩි කිරීමට හේතු වේ. (උදා :ස්වාමියාගේ විලවුන් සුවඳ) එවන් සුවඳ ආග්‍රහණයද පාලනය කළ යුතුය
  • පොත් කියවීම, රූපවාහිනිය නැරඹීම, පරිගණක තිරය දෙස බලා සිටීම, දහවල් නිදා ගැනීම වැනි කාරණාද වමනය වැඩි කිරීමට හේතු වේ. හැකිතාක් එවන් අවස්ථා මඟ හැරීම සහ ඇවිදීම, නිවසේ සුළු සුළු කටයුතු වල නිරත වීම, රාජකාරි ස්ථානයෙහි වගකීම් දැරීම වැනි ක්‍රියාවක කාර්යබහුල වීම තුළින් මෙය මදක් සමනය කර ගත හැකි වේ
  • තවත් විටෙක තනිකම හෝ නිවසේ අනෙක් සාමාජිකයින් රුචි නොවීම නිසා වාසය කරන ස්ථානය ප්‍රියමනාප නොවීමද මෙහිලා බලපෑම් ඇති කරයි. තත්ත්වය එසේ නම් කෙටි කාලයකට හෝ තමන් ප්‍රිය කරන පුද්ගලයින් සමඟ වාසයට යෑම වැදගත් වේ

ඉහත කිසිවකින් සමනය නොවන වමනය හා කෑම අරුචිය එදිනෙදා ගෘහ ජීවිතයට හා රාජකාරි කටයුතුවලට බාධාවක් වන තරම් දරුණු ලෙස පවතී නම් හා විජලනය වීමේ සහ බර අඩු වීමේ අවදානමක් පවතී නම්, වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. එහිදී ඔබ විජලනය වී ඇත්නම් බොහෝ විට සේලයින් වර්ග ලබාදීම මගින් එය නිවැරදි කරනු ඇත. වමනය සහ කෑම අරුචිය වැළැක්වීමට ඖෂධ නියම කරනු ඇත. බොහෝ විට මෙම ඖෂධ ලබා ගන්නා විට තත්ත්වය සමනය වන අතර නැවැත් වූ විට නැවත පෙරටත් වඩා දරුණු ලෙස වමනය ඇති වේ. එම නිසා වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධ සති 12ක් වත් ඉක්ම යනතෙක් අඛණ්ඩව භාවිතා කිරීම යෝග්‍ය වේ.

ඇතැමෙකුට මෙම තත්ත්වය සති 12 පසුවන විට සමනය වන අතර ඇතමෙකුට සති 20 පමණ වන තෙක් පවතී. තවත් අයෙකුට සති 28 පමණ වන තෙක්ද, ඇතැම්විට ප්‍රසුතිය දක්වාමද පවතී. ඉතා කලාතුරකින් අයකුට ප්‍රසූතියෙන් පසුවද දින කිහිපයක් යන තෙක් පැවතිය හැකිය.


වෛද්‍ය නිලංගනී උදේශිකා
ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
මූලික රෝහල වැලිමඩ
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *