මොකක්ද මේ හීට්ස්ට්‍රොක්….

මොකක්ද මේ හීට්ස්ට්‍රොක්….

සාමාන්‍යයෙන් මිනිස් සිරුරක උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104ක් එහෙමත් නැත්නම් සෙන්ට්‍රිගේඩ් අංශක 40 ට වැඩි වුණොත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.ඉතින් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් බොහොම අවදානම මාසයක් තමයි මේ ඇවිත් තියෙන්නේ.අප්‍රේල් කියලා කියන්නේ කොහොමත් උෂ්ණත්වය වැඩි මාසයක්.පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑමත් එක්ක අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනකොට ඒ වැඩි උෂ්ණත්වය ශරීරයෙන් ඉවත්කරන්න විදිහක් නැති නිසා ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අඩපන වෙලා ඇති වන මේ තත්ත්වය නිසා ඔබේ ජීවිතය පවා අවදානමකට ලක් වෙන්න පුළුවන්.ඒ කියන්නෙ මරණයකින් වුණත් කෙළවර වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම පහුගිය දවස්වල ලංකාවේ බස්නාහිර රත්නපුර වගේ විවිධ ප්‍රදේශවලින් දැඩි උෂ්ණත්ව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ තත්ත්වය වළක්වා ගැනීමට  මේ වන විට නිවේදන නිකුත් කර ඇති නිසා ලියාරා හරහා අපිත් ඔබව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න හිතුවා.

මේ අධික රස්නයට ඔබගේ ශරීරය නිරාවරණය වීමත් සමඟ මේ තත්වය සුළු වශයෙන් හරි  ඇති වුනොත්  අධික ලෙස තරහ යෑම, නොරුස්සන ගතිය මානසික තත්ත්වය වෙනස් වීම වගේ මානසික සංකූලතා වගේම,

අධික ලෙස දහඩිය දැමීම, රත්පැහැ බිබිලි,කුරුලෑ,වමනය ,ඔක්කාරය හිසරදය ,හුස්ම ගැනීමේ අපහසුතා ඔබේ ශරීරය අධික ලෙස උණුසුම් වන බවට ඔබට කරන අනතුරු ඇඟවීමක්.

මෙහිදී හෘද ස්පන්දන වේගය වැඩි වීම ,කලන්තය,ශරීරයේ අවයව ඉදිමීම  මොළයට,හෘදයට, වකුගඩු හා මාංශපේෂි වලට හානි ඇතිවීම වගේ කායික ගැටලු  සහ ප්‍රතිකාර ප්‍රමාද වුනොත් බරපතල සංකූලතා විදිහට කෝමාවීම හෝ මරණයට පවා පත්වෙන්න පුළුවන්.

ඉතින් එහෙමයි කියලා ඔබ කිසිසේත්ම අනවශ්‍ය ලෙස බිය විය යුතු නම් නැහැ.ඔබට කරන්නට තියෙන්නෙ ඔබ සහ ඔබේ ආදරණීයන් අවදානමට පෙර සූදානම් කර තබා ගැනීමෙන් මේ තත්වයට සාර්ථකව මූණ දීම පමණයි.

අප්‍රේල් කියන්නෙ සිංහල අළුත් අවුරුද්දත් එක්ක ඔබ කඩිමුඩියේ එහෙට මෙහෙට දුවන මාසයක්.ඒ වැඩත් එක්ක කාර්‍යබහුල වෙද්දි  ලිහිල් ඇඳුම්,සැහැල්ලු ඇඳුම් කපු යට ඇදුම් අඳින්න මතක තියාගන්න.ඇඳුම් ගොඩාක් ඇඳගෙන ඉන්න එක අවම කරන්න.ශරීරයේ දහඩිය රැඳෙන්න ඉඩ⁣දෙන්න.ඒ වගේම අව්වෙ යද්දි හොඳ එස්.පී.එෆ්. අගයක් සහිත කුඩයක්,උසස් තත්වයේ සන්ග්ලාස් දෙකක්,ස්කාෆ් එකක් දාගෙන යන්න අමතක කරනන එපා.අව්වට නිරාවරණය වීම හැකිතාක් අවම කරන්න.

ඒවගේම හොඳ සන්ස්කිරීම් එකක් පිටතට යන සෑම අවස්ථාවකම මුළු ශරීරයේම හොඳින් ආලේප කරන්න.ඒ වගේම ශරීරයේ තෙතමනය රඳවන ආලේපනයක්( බොඩිලෝෂන්) එකක් භාවිතා කරන්න.හැම වෙලේම වතුර බෝතලයක් ලඟ ති⁣යාගන්න.ශරීරය හයිඩ්‍රේට් කරගන්න.නිතරම වතුර බොන්න.ඒ වගේම ශරීරය සිසිල් කරන බීම වර්ග නිරන්තරයෙන් පානය කරන්න.තේ කෝපි වගේ උණුසුම් පානයනගෙන් ඈත්වෙලා ඒ වෙනුවට සව්,බාර්ලි,රණවරා,නෙල්ලි වගේ දේවල් බොන්න.කොමඩු බෙලි වගේ පලතුරු කන්න.මත්ද්‍රව්‍ය වලින් හැකිතාක් ඈත්වෙලා.ඉන්න.ඒ වගේම අව්වෙ නවත්තලා තියෙන මෝටර්රථ තුල ඔබ, හෝ ඔබේ සමීපතමයින් රඳවන්න එපා.විශේෂයෙන්ම කුඩා දරුවන්.

(එහෙම තැනක මිනිත්තු 10 ක් වගේ කෙටිකාලයකින් අංශක 20කින් උෂ්ණත්වය ඉහල යන නිසා)

ඒ වගේම දවල් කා⁣ලයේ ව්‍යායාම් කටයුතු,⁣ ක්‍රීඩා කටයුතු හා ශරීරය වෙහෙසවා කරන කටයුතු වලින් ඈත් වෙන්න.හැකිතාක් ඔබගේ ගමන් බිමන් උදේ සහ සවස්වරුවේ යොදාගන්න.දිවා කාලයේ නිවෙස් තූලම සිටින්න.වායුසමීකරණ හා විදුලි පංකා සමීපයේ සිටින්නට හැකිනම් වඩාත් හොඳයි.

ඒ වගේම ඔබේ සමීපතමයෙක් මේ තත්වයට ලක්වුණු වහාම

සෙවන ඇති තැනකට,නිවසක් තුළට රැගෙන යන්න.ජලය පානය කිරීමට ලබාදෙන්න.

හැකිතාක් ඇඳුම් ඉවත්කරන්න.අදාල පුද්ගලයාගේ ශරීරය නිරන්තරයෙන් සිසිල් කරන්න.මේ සඳහා ජලයෙන් තෙමීම,තෙත තුවා ශරීරයේ තැබීම වගේ දේවල් කරන්න පුළුවන්.ඒ සියල්ල කරන අතරතුර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන්න.

බොහෝවිට,වැඩිහිටියන්,රෝගීපුද්ගලයින් හා කුඩා ලමුන් මේ තත්වයට ලක්වීමේ ඉඩකඩ වැඩි නිසා ඔවුන් පිලිබඳ විශේෂ අවධානයකින් සිටීමත් වැදගත්.

ඉතින් මේ උපදෙස් අනුගමනය කරනවානම් ඔබ තවදුරටත් හීට්ස්ට්‍රොක් වලට බිය යුතු නැහැ…

අපේ ආදරණීය ලියන්ට  ලෙඩ රෝග වලින් තොර නීරෝගීමත් සුබ අළුත් අවුරුද්දක් වේවා!!

  (වැඩිදුර තොරතුරු අන්තර්ජාලයෙනි)

                                             

කාංචනා සුබසිංහ.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *