අනාගතය තීරණය කරන ටැටූ මෝස්‌තර

අනාගතය තීරණය කරන ටැටූ මෝස්‌තර

“ඔයා කොහොමද අනේ ගෙදර අයට පෙන්නේ නැති වෙන්න ඔය ටැටූ එක තියාගෙන ඉන්නේ?” මේක ගොඩක් අය නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්!

කතාව ඇත්ත. මම මේ පුංචි ටැටූ එක කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම අපේ තාත්තා ඒ ගැන හාන්කවිසියක් දන්නේ නෑ. මොකද ලංකාව වගේ තුන්වෙනි පන්තියේ රටක, විශේෂයෙන්ම සිංහල බෞද්ධ පවුලක ගැහැණු ළමයෙක් වෙලා ඉපදෙනකොටම ඒ අයිතිය මගෙන් සදහටම අහිමි වෙලා නිසා සංස්කෘතික රාමුව ඇතුළේ මට ඒකට ඉඩක් ලැබෙන්නේ නෑ. හැබැයි වයසින් ටිකින් ටික ලොකු වෙද්දී ටැටූවලට මගේ තිබුන අධික පෙරේතකම මාව ඒ තැනට පත් කළා වගේම ටැටූ එකක් කරනවා කියන එක මේ වෙද්දි මගේ පරම්පරාවේ බහුතරයක් කොල්ලෝ කෙල්ලන්ගේ එක හීනයක් කිව්වොත් හරියටම හරි.

ටැටූ එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට තමන්ගේ ගෙදර අය කොහොම වෙතත් රටේ ලෝකේ අනිත් මිනිස්සු මොනවා කියයිද කියලා දෙගිඩියාවක් එනවනම් ඔන්න මම අද කියනවා එහෙම අය ටැටූ ගැන නොහිතා ඉන්න එකම තමයි හොඳ. මොකද ඒක මේ අපූරු ටැටූ කලාවටත් කරන නිගාවක්. මොකක්? ටැටූ කලාව??? ඔව්. ටැටූ කියන්නේ කලාවක් තමයි. තේරෙන ක්‍රමයට කිව්වොත් ආර්ට් එකක්. විලාසිතාවක්. ලෝක සම්මතය තුල ඒක එහෙමයි. එහෙම නැතුව ටැටූ කියලා කියන්නේ අපේ රටේ ගොඩක් මිනිස්සු තාම හිතාගෙන ඉන්නවා වගේ මනුස්සයෙක්ගේ වැදගත්කම මනින සාධයක් නෙමෙයි. මනුස්සයෙක්ගේ වැදගත්කම තීරණය වෙන්නේ එයාගේ ක්‍රියාවෙන් ආකල්පවලින් මිසක් අඳින ඇඳුම්වලින්වත්, කරන වෙනයම් හෝ විලාසිතාවකින්වත් නෙමෙයිනේ. අපේ මිනිස්සු හැමදාම පටලවාගන්න තැන එතන.  

ඉතින් ටැටූ කරන එකෙන් කෙනෙක්ගේ වැදගත්කම තීරණය වෙනවා කියන කතාව තවදුරටත් වලංගු නෑ. මොකද ලෝකය දිහා බැලුවම වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ඉංජිනේරු වෘත්තිකයන් වගේ ලෝකය පිළිගත්ත වෘත්තීන්වල නියැලෙන අයටත් මේ වෙද්දී ටැටූ කියලා කියන්නේ හරි සාමාන්‍ය දෙයක්. ඊට සාපේක්ෂව ලංකාවේ තත්ත්වයත් කලින් තරම්ම සැලකිය යුතු එකක් නොවන තරමට පත්වෙමින් තියනවා කිව්වොත් හරි. දැන් ටැටූ එකක් කරන්න අසාවෙන් හිටපු කෙනෙක්ට මේ කතාව අහලා තමන්ට තිබුණ බාධා ඔක්කොම නැතිවුනා කියලා හිතන්න එපා. මොකද ටැටූ එකක් කලාම වැදගත්කමේ ප්‍රශ්නයක් නොවුනත් ප්‍රශ්නයක් වෙන සමහර අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම රැකියා සම්බන්ධව.

මොකක්??? ටැටූ කරන්න අවසර නැති රැකියා තියනවද? ඔව් තියනවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාමත් තියනවා. ඇයි එතකොට දැන් කලින් කිව්වේ ටැටූ එකක් කලා කියලා වෘත්තියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්ද? නෑ. ඒක ඇත්ත. නමුත් යම් යම් ආයතනවල තමන්ට අවේණික ආයතනික රෙගුලාසි, නීති රීති වලංගු වෙනවා. එතකොට සේවකයන්ට සිද්ධ වෙනවා ඒවට අවනත වෙන්න. සමහර ආයතනික නීති ටැටූ එකක් කරන්න ගෙදර අය ශේප් කරගන්නවා වගේ වෙනස් කරන්න අපිට බෑ. හරියට පාසල් නිළ ඇඳුමක් වගේ. පාසලෙන් පාසලට නිළ ඇඳුම වෙනස් නිසා ඊට අදාළ නීති රීතිත් යම් මට්ටමකට වෙනස්. එතකොට ශිෂ්‍යන්ට සිද්ධ වෙනවා තමන්ගේ පාසලට අදාළ නීති රීතිවලට යටත් වෙන්න. මේකත් ඒ වගේ.

කෙනෙක්ට හීනයක් වෙලා තිබුන රැකියාවට යන්න ප්‍රශ්නයක් නොවෙන විදිහේ ටැටූ එකක් තෝරගන්න මෙතනදී අපිට සිද්ධ වෙනවා. පළවෙනි එක ගුරු වෘත්තිය. වෙනත් රටවල ගුරුවරුන් පවා ටැටූ විලාසිතාව ප්‍රසිද්ධියේම කරලා තිබුණත් ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ තත්ත්වය වෙනස්. එහෙමයි කියලා ටැටූ එකකට ආසාවක් තියන කෙනෙක් ඒක නොකර ඉන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. හොඳින් හිතලා බලලා ටැටූ විලාසිතාවක් තෝරාගැනීම වගේම ඒ වෙනුවෙන් යොදාගන්නේ ශරීරයේ මොන කොටසද කියන එක හරි අවබෝධයෙන් තෝරගන්න ඕන. ඔය තත්ත්වයට මුහුණ දීපු මගේ ළඟම යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම රජයේ පාසල්වල පිළිගත් ගුරුවරු. නමුත් එයාලා කිසිම වෙලාවක තමන්ට ආස ටැටූ එකක් කරන එක වෘත්තීය ජීවිතයට බාධාවක් කරගෙන නැහැ. හැබැයි ටැටූ එකක් කරන්න තමන්ට සුදුසුම කාලය එනකන් එයාලට ටිකක් බලාගෙන ඉන්න වුනා කියන එකනම් ඉතින් කියන්නම ඕන. කොහොමත් හරි දේ කරන්න සුදුසුම වෙලාව එනකන් ඉන්න ඕනනේ. එහෙම නැති වුනොත් වෙන්නේ හැමදාටම පසුතැවෙන්න. විශේෂයෙන්ම ටැටූ එකකදී ඒ තත්ත්වය ටිකක් බරපතළයි. මොකද කෙනෙක් කරන්න ඉන්න ටැටූ එකක් එතන ඉඳලා තමන් කැමති වුණත් අකමැති වුණත් මුළු ජිවිත කාලයම එයා එක්ක ඉස්සරහට යන නිසා.

ආසාව නිසා හිතන්නේ බලන්නේ නැතුව කරගන්න ටැටූ එකක් නිසා තමන්ගේ හීනයක් වෙලා තිබුන රැකියා අවස්ථාව අහිමි වෙලා ගියොත්? ඒක හරිම බරපතල කාරණයක්. ඒ අත්දැකීමට මුහුණ දීපු මගේ මිතුරියක් අදටත් ඒ ගැන කතා කරන්නේ හරිම කණගාටුවෙන්. ගුවන් සේවිකාවක් වෙන්න හිතාගෙන හිටපු එයාගේ හීනය, හිතන්නේ බලන්නේ නැතුව කරපු පුංචිම පුංචි ටැටූ එකක් නිසා සදහටම අමතක කරන්න වුනා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒත් එහෙම වුනා. මොකද ගුවන් සේවිකාවන්ට ශරීරයේ නිරාවරණය වුන ස්ථානවල ටැටූ කිරීම නීතියෙන්ම වලංගු නොවන දෙයක්. ඉතින් ටැටූ එක මකන්න පුළුවන්නේ කියලා සමහර අය හිතුවට ඒක සියයට සීයක්ම සාර්ථක ප්‍රථිපල ගන්න ලංකාව ඇතුළේ තවම කිසිම අවස්ථාවක් නෑ කියලත් මතක් කරන්න ඕන.

තව කතාවක් තියනවා. බැංකු ක්ෂේත්‍රයේ සමහර ආයතනවලටත් මේ වෙද්දී කලින් කියපු නීතියම බලපැවැත්වෙනවා කියලා මමත් හරියටම දැනගත්තේ මෑතක දවසකදියි. ඒකත් පෞද්ගලික බැංකුවක සේවය කරන මගේ තවත් මිතුරියක් එයාගේ කාර්යාලයේ ඉන්න තවත් මිතුරෙකුට ටැටූ එකක් නිසා වෙන්න ගිය ඇබැද්දියක් ගැන කියද්දී. කමිසයේ අතට යන්තමින් වැහෙන කොටසක තිබුන ටැටූ එක ඒ තරුණයාට රැකියාව අහිමි නොකර බේරිලා තිබුණේ අනූනවයෙන්. මේ තරම් කාලයකට ටැටූ එක නිසා එවැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න මට සිද්ධ නොවුනේ ගැළපෙන විලාසිතාවක් හරිම විදිහට තෝරාගැනීමත්, අත්දැකිම්ලත් ටැටූ ශිල්පියෙක්ගේ සහය ලබා ගැනීමත් නිසා බවයි මගේ විශ්වාසය. මතකනේ මේක විලාසිතාවක්. හැම විලසිතාවම හැම කෙනෙක්ටම ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඔබත් ටැටූ එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්නම් “මිනිස්සු මොනවා කියයිද” කියලා බොරුවට බය වෙන වෙලාවේ තමන්ගේ අනාගතයට ප්‍රශ්නයක් නොවෙන, බයක් නොවිය යුතු ටැටූ එකක් තෝරාගන්න උත්සහ කරන්න.

රිද්මි පතිරණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *