කප්රුක නිර්මාත්ෲ දුලිත් හේරත්

කප්රුක නිර්මාත්ෲ දුලිත් හේරත්

අද Mr. Handsome විශේෂාංගය තුළින්  අප හා කතාබහට එක් වන්නේ තරුණ ව්‍යවසායකයෙක් වන කප්රුක නිර්මාත්ෲ දුලිත් හේරත් මහතායි. ඉතාම කාර්‍යබහුල මොහොතක වුනත් ලියාරා Mr. Handsome විශේෂාංගය වෙනුවෙන් ඔහුගේ කාලය වෙන් කරන්නට ඔහු කාරුණික වුණා.

කප්රුක වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ට හුරු පුරුදු නාමයක්. ශ්‍රී ලංකාවේ බිහි වූ මාර්ගගත ව්‍යාපාරයන් (ඔන්ලයින් බිස්නස්) අතරින් ප්‍රමුඛයා කප්රුක බව පැවසුවොත් නිවැරදියි. ඉතින් ඒ කප්රුක බිහිවීමේ කතාව කෙටියෙන් අප ඔහුගෙන් විමසුවා.

“ඇත්තටම ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් මේ වන විට කප්රුක ගැන දන්නවා. කප්රුක ගැන කෙටියෙන් කියන්න ටිකක් අමාරුයි මොකද මේක  අවුරුදු 12ක විතර කතාවක්. කප්රුක ආරම්භ වුණේ එක මේසයකින් සහ මගේ ලැප්ටොප් එකෙන්. ඊට පස්සෙ මට තාම මතකයි පළවෙනි එම්ප්ලොයීව ගත්ත විදිය, පළවෙනි බයිසිකලය ගත්ත විදිය, මුල්ම ඔෆිස් එකට රෙන්ට් එක ගෙවපු විදිය, පළවෙනි වෑන් එක ගත්ත විදිය, ඒ වගේම පළවෙනි බ්‍රෑන්ඩ්ස් කීපය කප්රුකට එකතු වුණ විදිය. අද වෙනකන් කිසිම බැංකු ණයක් අරගෙන නැතුව අපි මේ යන ගමන. අද වෙනකොට මේ ආයතන ඩොල‍ර් මිලියන සියයකට එහා වත්කමක් ඇති ආයතනයක්. හැබැයි මේකෙ පිටිපස්සේ තියෙන්නේ, මගේ මේ වැඩ කරන සේවකයන්ගේ තියෙන්නෙ ඉතාම සුවිශේෂී වූ බැඳීමක්. හරියට මේක ඉස්කෝලයක් වගේ. උදාහරණයක් විදියට අපි ඉස්කෝලෙ යනකොට අපේ යාලුවෝ ඉන්නවා. උදේ 7 ඉඳලා 2 වෙනකන් පාසලේ ඉඳලා ආයි ගෙදර ආවත් අපිට ආයිමත් ඉන්නෙ අර යාලුවෝ ටිකම තමා. ඒ වගේ තමා අපේ සේවක මණ්ඩලයත්. කප්රුක නිර්මාණය වෙන්නේ ඔන්න ඔය හැම දේම එකතුවෙන්. ආයතනයටම වෙන් වූ වෙනම කල්චර් එකක් සංස්ක්ෘතියක් තියෙනවා. සමරි එක තමයි ප්‍රඩක්ස්ට් ටිකක් තියෙනවා, බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ටීම් එකක් තියෙනවා. මේ සියල්ලෙම එකතුව තමයි කප්රුක.”

සාමාන්‍යයෙන් කුඩා දරුවෙක්ගෙන් ඇහුවොත් ලොකු වෙලා වෙන්න කැමති කවුද කියලා ඒ දරුවා නොයෙක් ආකාරයේ පිළිතුරු ලබා දෙනවා. ඒ පිළිතුරු අතරින් ව්‍යාපාරිකයෙන් වෙන්න ආසයි කියලා කියන්නේ එහෙමත් දරුවෙක්.  අද ව්‍යවසායකයෙක් වෙලා ඉන්න දුලිත් හේරත් මහත්මයා පොඩි කාලේ ආසාවෙන් හිටියේ ව්‍යාපාරිකයෙක් වෙන්නද කියලා තමයි අපි  ඊළඟට ඇහුවේ.

“ඔව්, ඇත්තටම මට ව්‍යාපාරයක් කරන්න අවශ්‍යතාවයකට වඩා මොනවා හරි අලුත් දෙයක් නිපදවන්න ආසාවෙන් හිටියේ. ව්‍යවසායකයෝ වර්ග දෙකක් ඉන්නවා නේ. පිරිසක් හරිම දක්ෂයි ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරන්න. සමහර අය ඉන්නවා අලුත් දෙයක් නිපදවන්න කැමතියි,ඒ අය නිසා නව ව්‍යාපාර බිහි වෙනවා.

මට ඕනෙ වුනෙත් නව නිර්මාණ බිහි කරන්න. මට ඕනේ වුනා මගේ නිර්මාණ සඳහා වේදිකාවක්.  කප්රුක බිහි වෙන්නේ එහෙම වාතාවරණයක. පොඩි කාලේ ඉඳන් මට අවශ්‍යතාවය තිබුණේ අලුත් දේවල් නිපදවන්න.”

එහෙම බිහි වුණු කප්රුක අද තිබෙන ස්ථානය පිළිබඳව දුලිත් හේරත් මහතා පැවසූවේ මෙන්න මේ වගේ දෙයක්.

” කප්රුක දැන් මේ ඇවිල්ලා තියෙන ගමන බැලුවොත් මට තත්පරයකටවත් හිතෙන්නේ නෑ මේක මීට වඩා වෙනස් කරන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා තියෙනවා කප්රුක අද මේ තියෙන තැනට ගන්න.

ඒ වගේම ඉදිරියේ කප්රුකට ඉතාම දිගු ගමනක් යන්න තියෙනවා. තවමත් කප්රුක ඇවිල්ලා තියෙන්නෙ ඒකේ ගමනින් 15% විතරයි. තව ඉතාම දුර ගමනක් යන්න තියෙනවා.

ව්‍යවසායකයෙක් කියන්නෙ හුඟක් උස කෙනෙක් ලෙසයි මම දකින්නේ. අනිත් අයට නොපෙනෙන දුරක් ව්‍යවසායකයෙක්ට පේනවා. ඒ වගේම ව්‍යවසායකයෙක්ට හැකියාව තියෙන්න ඕනේ තමන් වටේ ඉන්න අනෙක් අය තමන් පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න ලෙස කටයුතු කරන්න. එහෙම වුනොත් ඕනෑම ආයතනයකට ඉතා දුර ගමනක් යන්න පුළුවන්.

ව්‍යවසායකයෙක් කියන්නේ බොහෝ විට ප්‍රශ්ණ , ගැටලු වලට මුහුණ පාන අයෙක්. ඉතින් මේ ප්‍රශ්ණ මැද්දේ කොහොමද ව්‍යවසායකයෙක් තමන්ගේ ගමන යන්නේ?

ව්‍යවසායකයෙක්ගේ ලයිෆ් එක හරිම තනි වෙන ලයිෆ් එකක් තියෙන්නේ. ඇත්ත. ව්‍යවසායකයෙක් වුනාම තමන්ට අවශ්‍ය රටකට යන්න පුලුවන් ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ තවත් පැත්තක් තියෙනවා. තමන් ව්‍යාපාරයක මුල් පුටුවේ ඉන්නවා නම් හැම වෙලේම සියළුම ප්‍රශ්ණ අවසානයේ නවතින්නේ තමන් ළඟ. බොහෝ විට අවසන් තීරණ තමන්ට ගන්න සිද්ධ වෙනවා.නමුත් ඒ ප්‍රශ්ණ වලට මුහුණ පෑමත් එක්කම ලැබෙන පන්නරය, ශක්තිය එක්ක තමන් තුළම ප්‍රශ්ණ වලට මුහුණ දීමෙ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමා කාලයත් එක්ක පරිණත වෙද්දි අත්දැකීම් එද්දි අපි ප්‍රශ්ණ සඳහා ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වනවා. ඒ අත්දැකීම ගන්න පුලුවන් එකම ක්‍රමය ප්‍රශ්ණ වලට මුහුණ දීමයි.

ඒ වගේම ව්‍යවසායකයෙක් කියන්නේ වැටෙන වැටෙන පාරට නැඟිටින්න හැකියාව ඇති කෙනෙක්. හේතුව ව්‍යවසායකයෙක් වටා ලොකු කණ්ඩායමක් ඔහු පිළිබඳව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා හැම වෙලේම ව්‍යවසායකයා ශක්තිමත් විය යුතුයි. ප්‍රශ්ණ වලට මුහුණ දිය යුතුයි.

මේ දිනවල බොහෝ දෙනෙක් නව ව්‍යාපාර වලට යොමු වනවා. විශේෂයෙන් කාන්තාවන් ව්‍යවසායිකාවන් වීම පිළිබඳව දුලිත් හේරත් මහතා දරන අදහස ගැනත් අපි විමසුවා.

ඇත්තටම මට ඒ ගැන නම් ඇත්තෙ  ඉතාම ධනාත්මක ආකල්පයක්. මීට අවුරුදු දෙකහමාරකට වගේ පෙර පැය බාගෙක පමණ මීටින්ග් එකක් මම සහ ජැක් මා අතර පැවත්වුවා. ඒකෙදි මට එයා දුන්න අවවාදයක් තමයි බෝඩ් ලෙවල් එකේ ඉඳලා ටොප් මැනේජ්මන්ට් එකට වෙනකන් කාන්තාවන් ගන්න කියන එක. එයාල බිස්නස් රන් කරන විදිය, බිස්නස් වලට තියෙන ආදරය පිරිමින් තුළ නෑ කියලා තමයි එයා කිව්වේ. ඇත්තටම මම ඒක අත් හදා බලලා සහ හොඳ ප්‍රතිඵලයක් අත්විඳලා තියෙනවා.

ඒ වගේම මේ වර්තමාන නව පිබිදීමත් සමඟ බොහෝ කාන්තාවන් ව්‍යාපාර කෙරෙහි යොමු වෙලා තියෙනවා. බොහෝ අවස්ථා තියෙන්නෙ ඔන්ලයින් හරහා ව්‍යාපාරයක් කරගෙන යාම. ඔබ  අහලා ඇති ග්‍රාස්හොපර්ස් ගැන. ග්‍රාස්හොපර්ස් කියන්නේ ඔන්ලයින් විකුණන බඩු පාරිභෝගිකයා වෙත ගෙන යන සේවාවක්. මේකේ 60% ඉන්නේ කාන්තාවන්. මේ හරහා කාන්තාවන්ට එක් තැනකට කොටු නොවී මුලු ලංකාව පුරාත් ලෝකය පුරාත් තමන්ගේ භාණ්ඩ සපයන්න.

ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත ව්‍යවසායකයෙක් වෙන දුලිත් හේරත් මහතාගේ අඩි පාරේ යාමට සූදානම් අපේ තරුණ ව්‍යවසායකයන්ට ඔහු දෙන පණිවුඩය අපේ අවසන් ප්‍රශ්ණය වුනා. 

“තමන් තමන්ගේ නිෂ්පාදනය පිළිබඳව විශ්වාස කළ යුතුයි. තමන් තමන්ගේ නිෂ්පාදනය පිළිබ්ඳව , අදහස පිළිබ්ඳව සියයට සියයක් නෙමෙයි සියයට තුන්සියයක් විශ්වාස කළ යුතුයි. දෙවනුව කණ්ඩායම කියන දේ හරිම වැදගත්. අපිට කොච්චර මුදල් තිබුණත් මිනිසුන් නැත්නම් අපිට ගමනක් යන්න බෑ. ඒ නිසා තමන් හොඳ කණ්ඩායමක් හදා ගන්න ඕනේ. තමන් පිළිබඳ තමන් තුළ විශ්වාසය තියෙනවා නම් සහ තමන්ට හොඳ කණ්ඩායමක් සිටිනවා නම් ඉතාම හොඳ ගමනක් යාමට ඕනෑම වය්වසායකයෙක්ට හැකියාව තිබෙනවා.

ඉතින් අද අපේ Mr. Handsome විශේෂාංගයට එක් වුණු දුලිත් හේරත් මහතා ව්‍යවසායකත්වය පිළිබඳව ඔහුගේ  අදහස් සහ අත්දැකීම් බෙදාගත්තේ මේ අයුරින්. ව්‍යවසායකයෙක් වන්නට සිහින දකින ඔබට මේ අදහස් අත්වැලක් වන්නට ඇතැයි සිතන අතර අපගේ විශේෂ ස්තුතිය සහ සාර්ථක ඉදිරි ගමනකට සුබ පැතුම් දුලිත් හේරත් මහතා වෙත එක් කරනවා. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *